May 27, 2020

TRC එක CSN එකට සියලු සංඛ්‍යාත නැවත දෙයි Featured

CSN රූපවාහිනී නාලිකාවට ලබාදී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ පැවැති රජයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අහෝසි කිරීමට එරෙහිව පැවැති නඩුව සමතයකට පත්කර ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (26) අවසර ලබාදුන්නේය.

එහිදී 2016 වසරේ ඔක්තෝබර් 23 වැනි දින වන විට CSN රූපවාහිනී නාලිකාවට ලබාදී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම යළිත් ලබාදීමට වගඋත්තරකාර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එකඟතාවය පළ කළේය.

එම රිට් පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම සමථය ඇති විය.

කිසිදු සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතිවිරෝධී බව කියමින් CSN නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය, එම අමාත්‍යාංශ ලේකම්වරයා, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.

කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර CSN රූපවාහිනී ආයතනය සිය පෙත්සමින් පෙන්වා දි තිබිණි.

එබැවින් විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ආයතනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම රිට් පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය විසින් විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන CSN නාලිකවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top