Jun 28, 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් විනිසුරුවන් 20කට කොන්ත්‍රාත්?

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට වෘත්තිමය විනිසුරුවරයන් විසිදෙනෙකු හට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කොන්ත්‍රාත් පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රමිතිය ඉහළ නැංවීම සහ රටේ ක්‍රිකට් විනිසුරුවන්ගේ යහපැවැත්ම නංවාලීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි පැවසේ.

මෙම විනිසුරුවන් අන්තර්ජාතික, නැගී එන සහ Level-1 යන කාණ්ඩ තුනකට බෙදා ඇත. විනිසුරුවරයන් ලෙස කටයුතු කරන තරග සඳහා ලැබෙන මුදලට අමතරව ඔවුන්ට ස්ථාවර මාසික ගෙවීමක් ලබා දෙනු ඇත.

මෙරට ජාත්‍යන්තර විනිසුරු කුමාර් ධර්මසේන සමඟ එක්ව මෙම පියවර ආරම්භ කළ බව විනිසුරුවන්ගේ කමිටුවේ සභාපති දීපාල් මදුරප්පෙරුම මහතා පසුගියදා අනාවරණය කළේය.

“අපට ජාත්‍යන්තර තරඟ සඳහා විනිසුරුවන් 4ක්, නැගී එන කාණ්ඩයේ විනිසුරුවන් 6 ක් සහ Level-1 කාණ්ඩයේ විනිසුරුවන් 10 ක් සිටිනවා,” යැයි මදුරප්පෙරුම මහතා පසුගියදා මාධ්‍ය වෙත පවසා තිබුණි.

ෂම්මි සිල්වාගේ සභාපතිත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම පියවර සඳහා කැමැත්ත ලබා දීම ගැන සතුටු වන බවත්, ඉතා ඉක්මණින් මේ පිළිබඳව අවසන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම පියවර ගැනීම සඳහා ඉතිරිව ඇත්තේ කළමනාකරණ කමිටුවේ සහ විධායක කමිටුවේ අනුමැතිය ලබා ගැනීම පමණක් බවද ඔහු සඳහන් කර ඇත.

“ලබන සතියේ කළමනාකරණ කමිටු රැස්වීමක් පවත්වා ඉන් පසුව එය විධායක කමිටුවට යොමු කරනු ලබනවා. අනුමැතිය ලැබුණු විගස අපි කොන්ත්‍රාත්තු සමඟ ඉදිරියට යනවා," යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top