Jul 03, 2020

ක්‍රීඩකයෝ පිරිසිදුයි, ලෝක කුසලානය පාවාදීමේ පරීක්ෂණ අවසන් ! Featured

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාවා දුන් බවට කෙරුණු ප්‍රකාශයට අදාළ පරීක්ෂණ නතර කර තිබේ.

අදාළ සිද්ධිය පිළිබඳ මෙතෙක් සිදු කළ පරීක්ෂණයේ වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසයි.

අදාළ චෝදනාව කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කළ කරුණු තහවුරු කළ නොහැකි බව ක්‍රීඩකයින් ලබාදුන් ප්‍රකාශ තුළින් තහවුරු වීම පරීක්ෂණය නතර කිරීමට හේතුවී ඇති බව වාර්තා වේ.

හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග හා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මෙන්ම 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර විමර්ශන ඒකකය විසින් ප්‍රකාශ ලබා ගත්තේය.

අද (03) මහේල ජයවර්ධන ප්‍රකාශ ලබාදීමට නියමිතව තිබුණත් විමර්ශන කොමිසම එම කැඳවීම නතර කළේ ඔවුන්ට වෙනත් කාර්යයක් යෙදී ඇතැයි පවසමින්ය.

එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා විසින් වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

"මෙම සිද්ධිය පිළිබඳව තව දුරටත් විමර්ශනය නොකර මේ පැමිණිල්ල අපිට යොමු කළ ක්‍රීඩා ආමාත්‍යංශයේ ලෙක්ම්තුමාට වාර්තාවක් යවනවා.අපේ ඒකකයේ නිලධාරීන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ස්ථානාධිපතිවරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම සහභාගි වුණා. එහිදී අපි තීරණය කළා විමර්ශනය අවසන් කරන්න.
සියලුම ක්‍රීඩකයන් ගෙන්වලා කටඋත්තර ගැනීම ආදෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය කිරීමක් බවට මේ වන විට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top