Jul 29, 2020

මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්‍ෂණයක් Featured

පසුගිය ජුනි (05) වැනිදා උදෑසන 5 ට පමණ පානදුර, හොරෙයිතුඩුව ප්‍රදේශයේදී සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තා වේ.

ක්‍රීඩකයන් අතින් මෙවැනි අවාසනාවන්ත සිදු වීම් වළක්වා ගැනීමේ පියවරක් ලෙසත්, මෙවැනි සිදුවීමකින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ සෙසු ක්‍රීඩකයන්ට අගතියක් වන බව ක්‍රිකට් පරිපාලනයේ අදහස වී ඇති නිසාත් මේ පරීක්ෂණය සිදු කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගතව සිටින ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කිරීමේ බලය එම ආයතනය සතුව පවතී.

ඒ අනුව ඉදිරි දිනයකදී කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.

මේ රිය අනතුරෙන් 64 හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය අතර ඔහුගේ පවුලේ සාමාජිකයන්ට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට කුසල් මෙන්ඩිස් අධිකරණයේදී එකඟ විය.

එමෙන් ස්ථිර නිවසක් නොතිබූ එම පවුල වෙත රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් වැය කරමින් ඉඩමක් ලබාදීමටද මෙන්ඩිස්ගේ පාර්ශ්වය කටයුතු කර ඇති අතර, ඉදිරි නඩු වාරයේදී එහි ඔප්පුව බාරදීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top