Aug 11, 2020

අමාත්‍යංශ විෂය බෙදිල්ල අනා ගනියි: ක්‍රිකට් ආයතනයට ICC තහනමක් ? Featured

අමාත්‍ය විෂයන් වෙන්කරමින් ඊයේ (10) නිකුත් කරන ලද ගැසට් නිවේදනය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යංශය යටතට නම් කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් හට ජාත්‍යන්තර තහනමක් එල්ලවිය හැකි බව ක්‍රීඩා කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු ස්වාධීන ආයතනයක් වීම අනිවාර්ය කරුණක් වන නිසා එය ක්‍රීඩා අමාත්‍යංශය යටතට පවරා ගැනීමට හැකි නොවීම නිසාය.

ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට බැඳීමක් නොවන අතර එය ක්‍රීඩා අමාත්‍යංශයට වගකීමක් සහිත ආයතනයක් පමණි. 

ක්‍රිකට් ආයතනයට බැදීම ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් යනු  ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 68 අතරින් එකක් පමණි.

මෙවැනි පවරා ගැනීමක් සිදු කළහොත් එහි සම්පූර්ණ පාලනය ක්‍රීඩා අමාත්‍යාංශය සතු වේ.

එලෙස පවරා ගැනීමක් සිදු කරන්නේ අතුරු කමිටුවක් පත් කිරීමට අවශ්‍ය වූ විට පමණක් වන අතර එහෙත් මෙවර අමාත්‍යාංශ වෙන් කිරීමේදීම එය සිදුකිරීම ආණ්ඩුවේ නොදැනුවත්කමට සිදුවූවක් හෝ නොසැලකිල්ල මත සිදුවූවක් විය හැකි බව ක්‍රීඩා ප්‍රවීනයෝ කියති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෘජුව බැදී ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමගය.

ක්‍රිකට් ආයතනයට මෙතරම් මුදල් හිමිවන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වන අතර එහි ප්‍රධාන ආදායම් මාර්ගය ඔවුන්ගේ තරගාවලි සදහා එක්වීමය.

මෙලෙස කටයුතු කිරීමට නම් ඒ ඒ රටවල ක්‍රිකට් ආයතන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති සදහා අනුගතවීම අනිවාර්ය වේ.

සංගමයේ ස්වාධීනත්වය එම නීති පද්ධතියේ ප්‍රධාන අංශයක් වන අතර එසේ නොමැති වූ විට ඔවුන් සිය සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගැනීම සිදු කරනු ලබයි. එසේම දේශපාලන අතගැසීම් සිදුවන විට ද අයි.සී.සී. ය විසින් සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගැනීම සිදුකරයි.

පසුගිය වසරේ ජූලි මාසයේ ලන්ඩන් නුවර පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේදී එලෙස දේශපාලන අතපෙවීම් හේතුවෙන් සිම්බාබ්වේ තහනමට ලක්විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top