Aug 20, 2020

විස්සයි 20 ලෝක කුසලානය ලංකාවේ තියන්න හදයි Featured

ලබන වසරේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට අයි. සී. සී. සාමාජිකයන් බහුතරයක් එකඟත්වය පළකර ඇතැයි වාර්තා වේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා කළ ඉල්ලීමකට අනුව ඔවුන් අදාළ කැමැත්ත සිදුකර ඇති බවද පැවසේ.

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයෙන් ලොව දරුණුවටම පීඩා විදින තෙවැනි රාජ්‍ය බවට ඉන්දියාව මේ වන විට පත්ව තිබේ. 

කෙසේ වෙතත් උද්ගතවී ඇති තත්ත්වය අනුව ලබන 2021 වසරේ ඔක්තෝම්බර් 18 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා කාල සීමාවේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනත් ස්ථානයකට ගෙන යෑම කාලෝචිත බව අයි. සී. සී. ප‍්‍රධානීන් පසුගියදා රැස්වු අවස්ථාවේදී පෙන්වා දී තිබේ. එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා විසින් එහි සත්කාරකත්වය දැරීමට තම රට සූදානම් බව පවසා තිබේ.

යම් හෙයකින් ශ‍්‍රී ලංකාවට අදාළ සත්කාරකත්වය පිරිනැමුවහොත් විස්සයි - 20 ලෝක කුසලාන තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණය, දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය, පල්ලකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණය සහ සූරියවැව මහින්ද රාජපක්ෂ යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට දැනටමත් සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා වැඩිදුරටත් මෙසේද පවසා ඇත.

"ඉන්දියාවේ පවතින තත්ත්වය අනුව ලබන වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන එහෙ තියන්න පුළුවන්කමක් වෙන එකක් නැහැ. දවසට ලක්ෂයකට වැඩි කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඒ නිසා අයි. සී. සී. ය ඒ ලෝක කුසලාන සත්කාරකත්වයට විකල්පයක් සොයන විට මම කිව්වා අපිට සත්කාරකත්වය ලබා දෙන්න කියලා. ඉන්දියාවෙන් පවා ඒ යෝජනාවට යහපත් ප‍්‍රතිචාර තිබ්බා. බොහෝ රටවල් අපේ රටේ ලෝක කුසලාන තරගාවලිය තියනවට කැමැති වුණා. ඒ වෙනුවෙන් අපි සූදානම්. නමුත් තව මාස තුනක් යන්න කලින් සත්කාරකත්වය අපිට දෙනවද නැද්ද කියන එක ස්ථිරවම අයි. සී. සී. ය කියයි. මම විශ්වාස කරනවා ගොඩක් වෙලාවට අපිට ඒක ලැබෙයි කියලා." 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top