Sep 12, 2020

IPL නොගිය මාලිව LPL කලින්ම උස්සයි Featured

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ලබන නොවැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට නියමිත එල්.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩක වෙන්දේසියටත් පෙරම ලසිත් මාලිංගව වෙන්කර ගැනීමට ගාල්ල ග්ලැඩිටෙරියස් කණ්ඩායම කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

සිය පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් මෙවර අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියට සහභාගී නොවූ ලසිත් මාලිංගව ක‍්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කිරීමට පෙරම ගාල්ල කණ්ඩායමේ හිමිකරුවන් විසින් වෙන්කර ගැනීම විශේෂත්වයකි. 

ගාල්ල කණ්ඩායමේ විදෙස් ක‍්‍රීඩකයා වශයෙන් සහිඞ් අෆ්රීඩිව මේ වන විටත් වෙන්කර ගෙන ඇති අතර මාලිංගට බොහෝ දුරට ගාල්ල කණ්ඩායමේ නායකත්වය හිමිවීමේ වැඩි අවස්ථාවක් පවතින බව වාර්තා වේ.

LPL ක්‍රීඩක වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් 150ක් සුදුසුකම් ලබයි

‍ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් අයදුම්කල විදෙස් ක්‍රීඩකයින් 420 දෙනෙකු අතුරින් 150 දෙනෙකු පමණ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝබර් පළමුවැනිදා පැවැත්වීමට නියමිතව ඇති ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා තිබේ.

එහිදී තරග වදින කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් නම් කොට ඇති කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වශයෙන් ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇත.

විස්සයි 20 තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් වන ක්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ්‍රාවෝ, ශහිඞ් අෆ්රිඩි, ශකීබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටෝ, කොලින් මුන්රෝ, ලූක් රයිට් සහ වර්නන් ෆිලෙන්ඩර් ද මේ අතර වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top