Sep 17, 2020

බංගලාදේශ පිලට දෙරටක බෙදුනු නිරෝධායනයක්? Featured

ලබන මාසයේ පැවැත්වීමට අපේක්ෂිත බංග්ලාදේශ සංචාරයට ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒත්තු ගැන්වීම සඳහා අලුත්ම උත්සහයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දෙරට අතර බෙදුනු නිරෝධායන කාලයක් යෝජනා කර තිබේ.

මෙරට සෞඛ්‍ය නිර්දේශ අනුව, මෙරටට පැමිණෙන සියළුම දෙනා හට දින 14ක නිරෝධායන කාලයක් අනිවාර්ය වුවත්, බංගලාදේශ බලධාරීන් විසින් මෙය ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාවට පියාසර කිරීමට පෙර බංග්ලාදේශ ක්‍රීඩකයින් දින හතක නිරෝධායනය වී, ඉතිරි සත්දිනක නිරෝධායන කාලය ලංකාවට පැමිණීමෙන් පසුව මෙරටදී සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අලුතින් යෝජනා කර ඇත. කෙසේවෙතත්, මේ දක්වා ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන් හෝ බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් මේ සඳහා එකඟත්වයක් පළ කර නොමැත.

නිරෝධායනයක් අතරමග ජෛව ආරක්ෂිතව ජාත්‍යන්තරව ගුවන් යානයක ගමන් කිරීම සංකීර්ණ හා දුෂ්කර කාර්යයක් වනු ඇත.

මේ අතර, espncricinfo වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හි උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ පෙරේදා දින (16) Covid-19 කාර්ය සාධක බලකාය සමග මේ සම්බන්ධයෙන් ධනාත්මක සාකච්ඡාවක් පැවති බවත්, මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යෙදීමට සියල්ලන්ම එකඟ වූ බවත්ය. කෙසේවෙතත්, වෛද්‍යවරුන් පවසන දෑ පිළිබඳව සැලකිල්ලට ගත යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කර තිබුණි.

මෙරට සෞඛ්‍ය අමාත්‍යංශයේ හා වසංගත රෝග විද්‍යා අංශයේ නිර්දේශ මත ක්‍රියා කරමින් ශ්‍රී ලංකාව, මේ දක්වා බොහෝ රටවලට වඩා යහපත් ස්ථානයක සිටින අතර, දේශසීමා තවමත් වැසී පවතීම හැර දිවයිනේ සාමාන්‍ය ජනජීවිතය බොහෝ දුරට යථා තත්ත්වයට පත්ව ඇත. 

බංගලාදේශය විසින් මෙරටට පැමිණීමෙන් අනතුරුව දින 14 ක නිරෝධායනයකට විරෝධය පළ කර ඇත්තේ, ප්‍රධාන ටෙස්ට් තරගමාලාවකට පෙරාතුව එතරම් කාලයක් සිය ක්‍රීඩකයන් හට ඔවුන්ගේ හෝටල් කාමරයෙන් පවා පිටවීමට නොහැකිව ක්‍රියා විරහිතව හා හුදකලාව සිටීම අසාධරණය යැයි පවසමිනි.

දින 14 ක නිරෝධායනය කාලය තුළ බංගලාදේශ ක්‍රීඩකයන් හට පුහුණුවීම් වල නිරතවිය හැකිදැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කළ ඉල්ලීම ද සෞඛ්‍ය අංශ විසින් ප්‍රතික්ෂේප කර තිබුණි. ඉදිරි දින කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරයි.

එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හා මැන්චෙස්ටර් වල මෙන් ක්‍රිකට් ක්‍රීඩාංගන වලට යාබද හෝටල් ශ්‍රී ලංකාවේ නොමැත.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය අනුව මෙම තරගාවලිය අවම වශයෙන් ඔක්තෝබර් මැද වන තෙක් ආරම්භ කිරීමට අපහසු වනු ඇත.

(මූලාශ්‍රය : ක්‍රික්ඉන්ෆො)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top