Nov 19, 2020

කුසල්ගේ නඩුව මාර්තු 24ට කල්යයි: එයා නිරෝධායනයෙලු SLC ලියයි Featured

අපරික්‍ෂාකාරී අන්දමින් සිය මෝටර් රථය පදවා අනතුරක් සිදුකර ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එරෙහි නඩුව ලබන මාර්තු 24 වැනිදා නැවත කැඳවීමට පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (18) නියෝග කර තිබේ.

ඒ ඔහු නිරෝධායන කාල සීමාවක පසුවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමුකරන ලද ලිපියක් පානදුර අධිකරණයට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එන්. ජාගොඩආරච්චි මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් පසුවය.

කුසල් මෙන්ඩිස් ඉකුත් ජුලි 06 වැනිදා අලූයම් කාලයේ පානදුර උතුර පොලිස් වසමේ පැරණි ගාලූපාරේ හොරේතුඩුව ප්‍රදේශයේදී අපරික්‍ෂාකාරී අන්දමින් මෝටර් රථය පදවා පානදුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටි නෙවිල් පීරිස් (64) නැමැත්තෙකු මරණයට පත්කර තිබිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ (රථවාහන) උපදෙස් ලබාගෙන ඉදිරියේදී චෝදනා ගොනුකිරීමට කටයුතු කරන බව පොලිසිය වෙනුවෙන් පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක පාලිත කන්නන්ගර සහ සැරයන් කුමාරසිරි (41056) අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

සැකකාර කුසල් මෙන්ඩිස් නමැත්තා මාරක රිය අනතුරක් සිදුකිරීම, අනතුර කර පලායෑම, තුවාලකරු රෝහලට රැගෙන නොයෑම, අනතුරක් වළක්වා නොගැනීම සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම යන චෝදනා යටතේ ඉකුත් ජුලි 07 වැනිදා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබුණි.

පළමුවර නඩුව කැඳවූ අවස්ථාවේ මියගිය තැනැත්තාගේ බිරිඳට සානුකම්පිත දීමනාවක් ලෙසින් රුපියල් ලක්‍ෂ 10 ක මුදලක් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න ඇතුළු නීතීඥ කණ්ඩායම විසින් අධිකරණයට දැනුම්දීමෙන් පසු එදින රුපියල් ලක්‍ෂ දෙකක මුදලක් ලබාදී තිබේ.

දෙවනවර නඩුව කැඳවූ ඉකුත් සැප්තැම්බර් 09 වැනිදා ඉතිරි රුපියල් ලක්‍ෂ 8ක මුදල මියගිය තැනැත්තාගේ බිරිඳට භාර දී තිබූ නමුත් එම මුදල නැවත විත්තිකරුට ලබා දී ඊළඟ නඩු වාරයට ප්‍රථම ඇයගේ ගිණුමේ තැන්පත් කර අදාළ රිසිට් පත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ඔහු ජාතික ප‍්‍රවාහන අධිකාරියේ වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබුණි.

ඒ අනුව ඉතිරි රුපියල් ලක්‍ෂ අටක මුදල බැංකු ගිණුමේ තැන්පත් කර රිසිට්පත සහ වෛද්‍ය වාර්තාව ද විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ එන්. ජාගොඩආරච්චි මහතා විසින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් නීතීඥ පේමරත්න ජයසිංහ සහ කමලා ජයසිංහ යන මහත්ම මහත්මීහූ පෙනී සිටියහ.

ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතාගේ උපදෙස් පරිදි නීතීඥ එන්. ජාගොඩආරච්චි ඇතුළු නීතීඥ කණ්ඩායමක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ. උප පොලිස් පරීක්‍ෂක පාලිත කන්නන්ගර සහ සැරයන් කුමාරසිරි (41056) යන මහත්වරු පොලිසිය වෙනුවෙන් උසාවි කටයුතු සඳහා එක් වූහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top