මීට පෙර ඉකුත් පෙබරවාරි මාසයේදී එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් පුහුණු තරගයකට ක්‍රීඩා කරමින් සිටියදී ඇතිවූ කොවිඞ් 19 - ව්‍යාප්තිය හේතුවෙන් එම තරගය අතරමග නවතා ඔවුන් යළිත් සිය රට බලා පිටත් විය.
ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම තරගාවලිය දෙපිලටම වැදගත් සාධකයක් වන අතර එක් කණ්ඩායමක් සමග පවත්වන ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වේ.
එංගලන්ත පිල හෙට දිනයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචිතය ප්‍රකාශයට පත් කරන අතර පිටත් වීමට පෙර තම රටේදී කොරෝනා පීආර්සී පරීක්ෂණ සිදුකරනු ඇත. ප්‍රකාශයට පත්වන සංචිතයට ජොනී බෙයාර්ස්ටෝ කැඳවීමට ඉඩ ඇති බවත් ජොෆ්රා ආර්චර්ට විවේකයක් ලබා දෙනු ඇති බවත් එංගලන්ත මාධ්‍ය වාර්තා කොට තිබිණි. එමෙන්ම රෝරී බර්න්ස් ඔහුගේ බිරියගේ පළමු දරු උපත වෙනුවෙන් එංගලන්තයේ නතරවනු ඇතැයි ද වාර්තා කොට තිබිණි. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර මේ වසර මුලදී මෙම ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දෙක පැවැත්වීමට නියමිතව තිබූ අතර කොරෝනා ආරම්භයේදීම ඇතිවූ බිය හේතුවෙන් තරගාවලිය අත්හැර එංගලන්ත පිල පිටත්ව ගියේය.
එංගලන්තය අවසන් වරට වසර 2018දී ටෙස්ට් තරගාවලියකට පැමිණි අතර එහිදී 3-0ක් ලෙස එංගලන්තයට ජය හිමි විය.