කෙසේවෙතත්, එංගලන්ත කණ්ඩායම සඳහා අතිරේක සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීමට සිදුවනු ඇතැයි ද වාර්තාවේ.
ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි වෛද්‍ය නිලධාරීන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය නිලධාරීන් සමග අද දිනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
මේ අතර, ක්‍රික්ඉන්ෆෝ වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරයා වන වෛද්‍ය දමින්ද අත්තනායක මහතා පවසා තිබුණේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සියළුදෙනා චකිතයකින් සිටියද, මෙම සංචාරය නැවැත්විය යුතුයැයි නොසිතන බවයි. "ඇතැම්විට අපට අතිරේක පූර්වාරක්ෂා පියවරයන් ගන්න වෙයි. ඒත් එය නැවැත්විය යුතු යැයි මා සිතන්නෑ,” යැයි ඔහු පවසා තිබේ.
පවතින තත්ත්වය අනුව, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ඔවුන් ගේ සහය කාර්යමණ්ඩලය විශේෂ ගුවන්යානයකින් (chartered flight) ලබන 02දා මෙරටට පැමිණීමට නියමිතය. මෙරටට පැමිණීමෙන් දින තුනක් නිරෝධායනයට ලක්ව PCR පරීක්ෂණ වලට ඔවුන් ලක්වනු ඇත. එම පරීක්ෂණ කොඩිව් සඳහා ඍණාත්මක වුවහොත් ඔවුන්ට පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර ලැබේ. දින 6කින් පසුව ඔවුන්ට කණ්ඩායමක් වශයෙන් පුහුණුවීම් වල නිරතවීමට අවසර හිමිවනු ඇතිඅතර, ඔවුන්ට ශ්‍රී ලංකා පිල හා කටයුතු කිරීමට අවසර හිමිවන්නේ පැමිණ දින 10කට පසුවයි.
මෙම පියවරයන් ඉතා දැඩිව ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත්, නව ප්‍රභේදය හා මෙරටට පැමිණීමට පෙර ගන්නා ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කෙරෙන බවත් ඔහු පවසා ඇත.
කෙසේවෙතත්, මෙරටට පැමිණීමෙන් පසුව ගන්නා පියවර වල වෙනසක් සිදුනොවනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේවෙතත්, මෙම නව කොවිඩ් ප්‍රභේදය පැතිර යාම හමුවේ රටවල් ගණනාවක් විසින් බ්‍රිතාන්‍යයෙන් ගමන් ගන්නා සියලු ගුවන්ගමන් තහනම් කළ අතර, ලංකාවද බ්‍රිතාන්‍යයෙන් පැමිණෙන වාණිජ ගුවන්ගමන් සියල්ලම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට රජය ඊයේ දින තීරණය කර තිබුණි.
(ක්‍රික්ඉන්ෆො ඇසුරෙන්)