Dec 28, 2020

දකුණු අප්‍රිකාව 317/4 යි

දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 317ක් රැස් කිරීමට දෙරට අතර පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසානයේදී ඊයේ (27) සමත් විය.

ඒ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු 360 ට පිළිතුරු ලෙසය.

දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 79 ක් පසුපසින් මේවන විට පසුවේ.

දිනය නිමාවන විට ෆෆ් ඩු ප්ලෙසීස් ලකුණු 55 ක් සහ ටෙම්බා බවුමා ලකුණු 41 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ලකුණු 20 ක් තුල අවසන් කඩුලු 3 දැවී ගියද ඉන් නොසැලුණු ෆෆ් ඩු ප්ලෙසීස් සහ ටෙම්බා බවුමා පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 97 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කිරීමට සමත්වූහ.

සාර්ථක ආරම්භයක් ලබාගත් ඩීන් එල්ගා සහ ඒඞ්න් මාර්ක්රම් පළමු කඩුල්ල සඳහා ලකුණු 141 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූහ.

තේ පානය වනවිට ලකුණු 180 කට එක් කඩුල්ලක් පමණක් අහිමිකරගෙන සිටි දකුණු අප්‍රිකානුවෝ තේ පානයෙන් පසුව දිනය අවසන් වනතෙක් කාලය තුල කඩුලු 3 ක් අහිමිකර ගනිමින් තවත් ලකුණු 137 ක් සිය ඉනිමට එක්කර ගැනීමට සමත්වූහ.

ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් ශතකය පෙනි පෙනී පන්දු යැවූ දසුන් ශානක අතට උඩපන්දුවක් දෙමින් පිටියෙන් ඉවත් විය.

පන්දු 13 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි එල්ගාර් හතරේ පහර 16 ක් සමගින් ලකුණු 95 ක් ලබාගත්තේය.

රාසි වැන්ඩර් ඩසන් ලකුණු 15 කට දවාගැනීමට ළහිරු කුමාර සමත්වූ අතර සිය මංගල කඩුල්ල ලෙස දකුණු අප්‍රිකානු නායක ක්වින්ටන් ඩි'කොක් දවාගැනීමට වනිඳු හසරංග සමත්විය.

අද තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 340ක් ලබා සිටියේය.

කෙසේවුවද, ශ්‍රී ලංකා පළමු ඉනිමේ අවසන් කඩුලු 3 ලකුණු 9ක් තුළ දැවී ගියේය.

ආබාධයක් හේතුවෙන් ලකුණු 79ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වූ ධනංජය ද සිල්වා ක්‍රීඩා නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 9කට සීමා වියග

දිනේෂ් චන්දිමාල් ලකුණු 85ක් ලබා ගත් අතර දසුන් ශානක නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේය.

ටෙස්ට් වරම් හිමි කරගත් වනිදු හසරංග ලකුණු 18කට දැවී ගියේය.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකාවේ ලූතෝ සිපම්ලා කඩුලු 4ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම 360/9
දිමුත් කරුණාරත්න 22, දිනේෂ් චන්දිමාල් 85, ධනංජය ද සිල්වා (තුවාල ලබා පිටියෙන් පිටවන විට) 79, නිරෝෂන් දික්වැල්ල 49, දසුන් ශානක (නොදැවී) 66, කසුන් රාජිත (නොදැවී) 12, ලුන්ගි න්ගිඩි 64/1, ලුතෝ සිපම්ලා 76/4, ඇන්රිච් නෝයේ 88/1, වියාන් මල්ඩර් 69/3)

දකුණු අප්‍රිකානු පළමු ඉනිම 317/4
ඩීන් එල්ගාර් 95, ඒඞ්න් මාර්ක්රම් 68, ෆෆ් ඩු ප්ලෙසීස් (නොදැවී) 55, ටෙම්බා බව්මා (නොදැවී) 41, විශ්ව ප්‍රනාන්දු 59/1, දසුන් ශානක 56/1, වනිඳු හසරංග 99/1, ළහිරු කුමාර 73/1)

සබැඳි පුවත්
දිනේෂ් හා ධනංජය ලංකාවේ මුල් ඉනිම ඔසවති

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top