Dec 30, 2020

ටෙස්ට් තරග පරාජයට හේතුව මිකී ආතර්ගේ හැසිරීමයි! Featured

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන්හි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ඉනිමකින් හා ලකුණු 45 කින් ලැබූ අන්ත පරාජය පිළිබඳව ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් වගකීම භාර ගත යුතු බවට විචාරකයෝ පවසති.

දිගින් දිගටම ලැබූ පරාජයන් නිසා විශාල වැටුපකට හිමිකම් කියූ හිටපු පුහුණුකරු චන්දික හතුරුසින්හ පන්නා දැමීමෙන් පසු ක්‍රිකට් ආයතනය සේවයට බඳවා ගත් මිකී ආතර්ගේ ශ්‍රී ලංකා පිල සමග සහභාගි වූ ප්‍රථම ටෙස්ට් තරගය මෙය වන අතර මාස ගණනක් මුළුල්ලේ මෙහි රැඳී සිටිමින් ඔහු කුමක් කළේද යන්න ඔවුන්ගේ විවේචනයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලි රැසක් අහිමිව තිබියදී සංවිධානය වූ මෙම තරගාවලියේ පූර්ව සූදානම පසෙක ලා මිකී හම්බන්තොටට වී මාසයක් සෝනි ටීවී විස්තර විචාරකයකු ලෙස කටයුතු කිරීමත් ක්‍රිකට් පාලකයන් විසින් ඔහුට මාසික වැටුපක් ගෙවන අතර IPG මගින් තව ආදායමක් උපයා ගැනීමට ඉඩ දී ඔහුගේ ප්‍රධාන රැකියා කටයුත්ත මඟ හැර සිටීමට ඉඩ හැරීමත් මෙම දරුණු පරාජයට මූලික හේතුව ලෙස මොවුහු පවසති.

එසේම ඔවුන්ගේ තවත් මතයක් වී ඇතතේ LPL තරගාවලියට සියලු අවධානය යොදා ටෙස්ට් තරගාවලියේ සූදානම ගැන අමතක කිරීම නිසාත් වේග පන්දු යවන්නන්ට නිසි විවේකයක් ලබා නොදීමත් හේතුවෙන් බොහෝ ක්‍රීඩකයන් ආබාධවලට ගොදුරු වූ බවයි.

මිකී හම්බන්තොට විස්තර විචාරයේ යෙදෙද්දී LPL නොගැසූ නායක දිමුත් ඇතුළු ක්‍රීඩකයන් හත් අට දෙනෙකු කොළඹට වී පුහුණුවීම් කරද්දී මිකී හම්බන්තොට සිට කෙළින්ම දකුණු අප්‍රිකාවට ගියේය.

මේ අතර මෙම කණ්ඩායම තේරීම් කමිටුවක් නොමැතිව කලින්ම තෝරා ගත් ආකාරයද ගැටළු සහිතය.

"අපේ ක්‍රීඩකයන් බොහෝ විට තනිව තමන්ගේ ශාරීරික යෝග්‍යතාව ගැන උනන්දු වෙනවා අඩුයි. අපේ භෞත චිකිත්සකයන්ගේ ක්‍රියා කලාපයේත් ගැටළු තියෙනවා. බොහෝ අයගේ දැනුම ඉහළ මට්ටමක නැහැ.
සමහරු ක්‍රීඩකයන්ට අවශ්‍ය විදියට ආබාධ ගැන හොර වාර්තා ලබා දෙනවා ඒවාට ක්‍රීඩකයන් ඔවුන්ට පසුව සළකනවා.ඉස්සර මෙහෙම ආබාධ තිබුනෙ නැහැ. දැන් ලකුණු දෙකට දිව්වත් ඕවර දෙකක් යැව්වත් ක්‍රෑම්ප්."
ශ්‍රී ලංකා මිරර් වෙත අදහස් දැක්වු එක් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් එසේ පැවසීය. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top