ආබාධයක් නිසා දකුණු අප්‍රිකා සංචාරයට සහභාගි නොවූ ඇන්ජෙලෝ මැතිව්ස්, නුවන් ප්‍රදීප් මෙන්ම දකුණු අප්‍රිකා සංචාරයට ආබාධ සහිතව සහභාගි වී තරග දෙකටම ක්‍රීඩා කිරීමට තරම් සුව මට්ටමක නොවූ ඔෂධ ප්‍රනාන්දු හා සුරංග ලක්මාල් නැවත වරක් එංගලන්ත සං චාරයට නම් කළේ කුමන පදනමකින්ද යන්න මේ වන විට ආන්දෝලනයට ලක් වී තිබේ.
මේ තේරීම් දකුණු අප්‍රිකාවේ සිටින තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්, පුහුණුකරු මිකී ආතර් හා නායක දිමුත් කරුණාරත්න එක්ව තනි මතයට කර ඇතැයි ද මේ තේරීම් ලංකාවේ සිටින අනිකුත් තේරීම් කමිටු නිලධාරින් පවා නොදන්නා බවත් වාර්තා වේ.
ක්‍රිකට් විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාත් මෙම නම් කිසිදු ක්‍රම වේදයකින් තොරව ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා වෙත යවා ඇතැයි ද වාර්තා වේ.
ජාතික සංචිතයේ ඇතැම් ක්‍රීඩකයන් පසු ගිය සමයේ දිගින් දිගටම භෞත චිකිත්සකයන් හා ඇතැම් තේරීම් කමිටු නිලධාරීන් සම්බන්ධ කර ගෙන සූක්ෂම ලෙස කණ්ඩායමේ රැඳී සිටීමේ ව්‍යාපාරයක් ගෙන ගොස් තිබේ.
මේ නිසාම බොහෝ නවක ක්‍රීඩකයන්ට කණ්ඩායම තුළට පිවිසීමේ ඉඩ කඩ ඇහිරී ඇත.
තවමත් ක්‍රීඩා ඇමතිවරයා විසින් මෙම කණ්ඩායමට අනුමැතිය දී නොමැත.
දිගින් දිගටම සිදුවන අන්ත පරාජයන් හා ප්රශ්නකාරී ආබාධ ගැන ක්‍රීඩා ඇමතිවරයාද මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇතැයිද වාර්තා වේ.
මීට පෙර වතාවකදී ඈෂ්ලි ද සිල්වා විසින් නිසි පරිදි ක්‍රීඩා ඇමති වරයාගේ අනුමැතිය නොගත් කණ්ඩායමක් ගුවන් යානයට නැග සිටියදී එවකට ක්‍රීඩා ඇමතිවරයා වූ දයාසිරි ජයසේකර මහතා විසින් ආපසු හරවා ගෙන්නන්නට යෙදිණ.
මීට වසර දෙකකට පෙර ඩුබායිහි පැවති T10 තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායමක් ක්‍රීඩා ඇමති වරයාගේ අනුමැතියකින් තොරව ඈෂ්ලි ද සිල්වාගේ තනි මතයට යවන ලද අතර එහිදී ක්‍රීඩකයන්ට මුදල් ගෙවීමේ අක්‍රමිකතා රැසක්ද සිදු විය.
දකුණු අප්‍රිකාවට ගිය පිල තේරුවේ කවුද?
මේ අතර දකුණු අප්‍රිකාවට ගිය ක්‍රීඩකයන් 21 දෙනාද තෝරා ගන්නා ලද්දේ ක්‍රිකට් තේරීම් කමිටුවක් නොමැතිව තිබියදීය.
එසේ ගිය නිල නොවන කණ්ඩායම අවසානයේ දින තුනෙන් තරග අවසන් කොට අන්ත පරාජයන් දෙකකටම මුහුණ දීමේ වගකීම ගන්නේ LPL විස්තර විචාරයේ යෙදෙමින් සිටි පුහුණුකරුද, කිසිම පුහුණු සැළස්මක් නොමැතිව කණ්ඩායමක් එහි යැවූ ක්‍රිකට් බලධාරීන්ද, වගකීමකින් තොර කණ්ඩායමක් රැගෙන කළමනාකරු ලෙසද කටයුතු කළ අසන්ත ද මෙල්ද නැතහොත් ක්‍රීඩා ඇමතිවරයාද යන්න කොයි කාගේත් අවධානයට ලක්ව තිබේ.