Oct 31, 2016

මාලිංගට මේ අවුරුද්දෙදි ක්‍රිකට් බෑ

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙම වසර තුළදී ක්‍රීඩා කළ නොහැකි වාතාවරණයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් සියයට සීයක් සුව නොවීම හේතුවෙනි.

ඒ හේතුවෙන් ඔහුට බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ ඇතුළත්ව පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිව ඇත.

“මේ වසර අවසානය වන විට මාලිංගගේ පාදයේ ආබාධය සුව වෙයි"

ලසිත් මාලිංගගේ ආබාධය පිළිබඳව ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසා ඇත්තේ මෙම වසර අවසානයේ පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංගගේ පාදයේ ආබාධය බොහෝදුරට සුවවනු ඇති බවයි.

එමෙන්ම මාලිංග මේ වනවිට සිය පුහුණුවීම් කෙටිකාලීනව ආරම්භ කර තිබුණද ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ තුන්කොන් එක්දින තරගාවලියට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත බවද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

"මාලිංගගේ ආබාධ තත්ත්වය දැන් බොහෝදුරට සුව තත්ත්වයක් පෙන්නුම් කරනවා. දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංග සියයට සියයක් සුවවේවි යැයි අපි අපේක්ෂා කරනවා. එසේම බොහෝදුරට මාලිංගට ක්‍රීඩා කරන්න වෙන්නෙ ලබන අවුරුද්ද මුල පැවැත්වෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ එක්දින හා විස්සයි20 තරග සඳහා" යැයි ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

-T'du-

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top