Feb 15, 2021

ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන ක්‍රීඩා ඇමතිට සහ ක්‍රිකට් බළධාරීන්ට නොතීසි (Update) Featured

(Update) - ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට අභියාචනාධිකරණය විසින් නොතීසි නිකුත්කර තිබේ.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාව සකස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් මාර්තු මස 15 වනදා කරුණු දක්වන ලෙසය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය පැවැත්වීමට පෙර වත්මන් ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනයකර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකස්කරන ලෙස ක්‍රීඩා බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අධිකරණයට පෙත්සමක්

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකු හා ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපතිවරුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකු විසින් අද (15) දිනයේදී අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පුර්ණයෙන්ම ප්‍රතිව්‍යුහගත්කරණය කිරිම, එහි ව්‍යවස්ථාව වෙනස් කිරීම සහ ක්‍රිකට් නිලවරණය සඳහා ජන්දය භාවිතා කිරීමේ පවතින කරුණු වෙනස් කරන ලෙසට පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම මගින් ඉල්ලා ඇති මුලික කරුණු වේ.

හිටපු ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් වන සිදත් වෙත්තමුණි, මුත්තයියා මුරලිදරන් හා මයිකල් තිසේරා ද, ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපතිවරුන් වන ආනා පුංචිහේවා, කුෂිල් ගුණසේකර, විජය මලලසේකර පෙත්සම්කරුවන් අතර වේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස , තිලක් වත්තුහේවා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරුන් සහ ක්‍රිකට් විධායක කමිටුව පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් සුදත් පෙරේරා ඇසෝසියෙට් නීතිඥ සමාගමේ උපදෙස් මත ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ ආචාර්ය මිල්හාන් මොහොමඩ් යන මහත්වරු අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියහ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top