Apr 08, 2021

ක්‍රිකට් සල්ලි කෝටි ගාණක් පිටරට ගිණුමක Featured

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාවට අනුව අවස්ථා 3කදී ක්‍රිකට් ආයතනය සතු රුපියල් මිලියන 174ක මුදලක් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) දැඩි අවධානයට ලක්ව තිබේ.

2018 වසරේදී දකුණු අප්‍රිකා - ශ්‍රී  ලංකා සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29ක මුදල මෙතෙක් අයකර නොගැනීම සම්බන්ධයෙන් කාරක සභාව, ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.

දකුණු අප්‍රිකා ශ්‍රී  ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු මුදල ඩයමන් චැනල් නම් ඇමෙරිකානු ජාතිකයකුගේ ගිණුමකට ඇතුළත්ව ඇති බවත්, එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමුව ඇති බවත් කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

මේ අතර ක්‍රීඩා සංගම් ක්‍රීඩාංගන ආදිය සඳහා එම කාලය තුළ ලබාදී ඇති රුපියල් මිලියන 89ක මුදලක් කපාහැර  ඇති බව, කමිටුව හමුවේ අනාවරණය වූ බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් පැවැසීය.

චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිතවීම හේතුවෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට වියදම් කර ඇති මුදල රුපියල් මිලියන 30ක් බවද කාරක සභාවේදී අනාවරණය වී ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කරන ලද අතුරු කමිටුවේ කාලසීමාව තුළ අදාළ බලධාරීන්ගේ අනුමැතිය නොලැබුණු රුපියල් මිලියන 26ක් අගය වූ ව්‍යාපෘති හතරක් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය අතහැර දමා තිබෙන බවද කාරක සභාවේදී අනාවරණය වූ බවද කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැන්වීය.ඒ සඳහා නීතිපතිවරයාගේ සහයද ලබා ගත හැකි බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩිදුරටත් පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top