Jul 21, 2021

2032 ඔලිම්පික් සත්කාරකත්වය බ්‍රිස්බේන් නගරයට

වසර 2032 ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලේ සත්කාරත්වය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට (21) අද නිල වශයෙන් ප්‍රදානය කර තිබේ.
 
ජපානයේ ටෝකියෝ අගනුවර පැවැති අන්තර්ජාතික ඔලිම්පික් කමිටු (IOC) 138 වැනි සැසිවාරයේදී IOC සභාපති තෝමස් බාක් විසින් මෙය ප්‍රකාශයට පත්කෙරුණි. 
 
මේ අනුව, ඔලිම්පික් සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවට හිමිවන්නේ තෙවැනි වරටයි. වසර 1956දී මෙල්බර්න් නුවරටත් 2000දී සිඩ්නි නුවරටත් මීට පෙර ඔලිම්පික් සත්කාරකත්වය හිමිවිය.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වසින් ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ අද දිනය බ්‍රිස්බේන් හා ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට පමණක් නොව මුළු රටටම ඓතිහාසික දිනයක් වන බවයි.

අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හඳුන්වා දුන් නව ලංසු ආකෘතියට අනුව බ්‍රිස්බේන් නගරයට එම අවස්ථාව නිතරගයෙන් හිමි වු බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

එම නව ආකෘතිය යටතේ ලංසු ඉදිරිපත් කළ යුත්තේ, ප්‍රචාරක වියදම් කපා හැරීම, අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට පාලනයේ වැඩි බලයක් ලබා දීම සහ ඡන්ද මිලට ගැනීමේ අවස්ථා අවම වන ලෙසයි.

2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සඳහා කටාර්, ජර්මනිය සහ හංගේරියාව ඇතුළු රටවල් කිහිපයක් ඉදිරිපත් වීමට උත්සාහ කළ ද ඉහත ආකෘතියට අනුකූල නොවීම හේතුවෙන් ඔවුන්ට එම අවස්ථාව අහිමි විය.

අදාළ ආකෘතිය සපුරා ඇති බ්‍රිස්බේන් නගරයට එම අවස්ථාව ලබා දෙන බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය පෙබරවාරි මාසයේදී පවසා තිබුණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top