Mar 22, 2017

රාජකීය - කළුතර විදුහල්පතිවරු පිං ටුවර් එකකට වළිකති Featured

වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිලේ ඔස්ට්‍රේලියානු සංචාරයට නිලධාරීන් ලෙස එක්වීමට කොළඹ රාජකීය විදයාලයේ විදුහල්පති පී.ඒ. අබේරත්න හා කළුතර විද්‍යාලයේ විදුහල්පති සරත්චන්ද්‍ර ද සිල්වා පොරයක නිරතව ඇතැයි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
අබේරත්න මහතා පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිතයා ලෙසත්, සරත්චන්ද්‍ර මහතා නීරීක්ෂක නිලධාරියා (Observer) ලෙසත් එක්වීමට උත්සාහ ගනිමින් සිටින බව පැවසේ.
 
මේවන විට ලබන අප්‍රේල් මාසයේදී විශ්‍රාමයාමට සිටින කළුතර විද්‍යාලයේ විදුහල්පති සරත්චන්ද්‍ර මහතා අදාළ සංචාරයට එක්වුවහොත් ඔහු විශ්‍රාම යනු ලබන්නේ අදාළ සංචාරය අතරවාරයේ බවද පැවසේ.
 
පාසල් ක්‍රිකට් සංගමයේ වර්තමාන සභාපතිවරයා වන්නේද ඒ මහතාය.
 
රාජකීය විදුහල්පති අබේරත්න මහතා සරත්චන්ද්‍ර මහතාගෙන් පසුව අදාළ ධූරය බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසේ.
 
මොවුන් දෙදෙනාගේම බර පැණ දැරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරගෙන ඇතැයි ද වාර්තා වේ.
 
කෙසේවුවද, මොවුන්ගේ මේ ටුවර් මේනියාව සම්බන්ධයෙන් පාසල් ක්‍රිකට් සඳහා විශාල කැප කිරීමක් සිදුකරනු ලබන පාසල් ක්‍රිකට් කණ්ඩායම් භාර ගුරුවරුන් කලකිරී ඇතැයි ද පැවසේ.
 
ඒ අදාළ සංචාර සඳහා සහභාගිවීමේ වැඩි සුදුසුකම් ඇත්තේ එම ගුරුවරුන්ට නිසාය.
 
මේ අතර වාර්තාවන්නේ සරත්චන්ද්‍ර මහතා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් පිලේ එංගලන්ත සංචාරයට ද පාසල් ක්‍රිකට් සංගමයේ නියෝජිතයා ලෙස එක්ව ඇති බවයි.
 
ඔහු පාසල් රග්බි සංගමයේ උප සභාපති ලෙස මීට ටිකදිනකට පෙර පාසල් රග්බි සංගමයේ නිලධාරීන් මැලේසියාවට ගිය විනෝද සවාරියට ද සහභාගිවී ඇත.
 
එසේම ඉදිරියේදී මැලේසියාවේ සංචාරය කිරීමට නියමිත වයස අවුරුදු 15න් පහළ පාසල් ක්‍රිකට් පිල සමඟ ද මැලේසියාවට යාමට අවසර ලබාගෙන ඇති බව පැවසේ.
 
ඉතිහාසයේ කිසිදු දිනක පාසල් ක්‍රිකට් පිලක් සමඟ පාසල් නියෝජිතයින් දෙදෙනෙකු විදෙස්ගතව නැතැයිද මේ අතර ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. 
 
 
 
 
 
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top