Feb 16, 2022

රග්බිවලට අතුරු කමිටුවක් වැටෙයි?

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය තුළ සිය සාමාජිකත්වයේ නීත්‍යානුකූලභාවය පිළිබඳ පැහැදිලි කිරීමක් ඉල්ලා බස්නාහිර පළාතේ රග්බි කණ්ඩායම් 07ක් විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් විසින් මෙම ලිපිය යොමුකිරීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන ලීග් තරගාවලියටද සහභාගී වීමට නියමිතව තිබියදීය.

වසර 2020 ජූලි 20දා එවකට සිටි ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා විසින් ලිඛිතව නිවේදනය කර තිබුණේ 2019 වර්ෂය සඳහා සාමාජික මුදල් ගෙවා නොමැති බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය ඇතුළු සංගම් වල සාමාජිකත්වය අහෝසි කිරීමට අභියාචනා උපදේශක කමිටුවක් විසින් නිර්දේශ කර තිබුණු බවත්, එම නිර්දේශ වහාම ක්‍රියාත්මක කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයා අනුමත කළ බවත්ය. එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ඩලස් අලහප්පෙරුම මහතාය.

ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබූ නිවේදනය පහත දැක්වේ.

Rugby 001

වංගු පාරෙන් සාමාජිකත්වය?

මේ අතර, බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය විසින් යළි සිය සාමාජිකත්වය ලබාගැනීමේදී පිළිපැදිය යුතු ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බවද චෝදනා එල්ල වී තිබේ.

අතීතයේදී ක්‍රීඩා ආයතන වල සාමාජිකත්වය අහෝසි වූ විටදී, ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නීතිපති උපදෙස් පැතීම සාමාන්‍ය වන්නේ එවැනි අවස්ථාවකදී සාමාජිකත්වය යළි ලබාගැනීමට මුල සිටිම අදාල සම්පූර්ණ ක්‍රියා පටිපාටිය පිළිපැදිය යුතු වන හෙයිනි.

බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමය විසින් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවා ඇති අතර, ඒ බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයද දැනුවත් කර ඇති බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

කෙසේවෙතත්, හිඟ මුදල් ගෙවූ පමණින් නීත්‍යානුකූල ලෙස අහෝසි කළ සාමාජිකත්වය යළි ලබාදිය නොහැකි වේ.

නිර්නාමිකව 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ රග්බි නිලධාරියෙක් පැවසුවේ, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සාමාජිකත්වය යළි ලබාගැනීමට නම්, ඒ සඳහා අදාල සම්පූර්ණ ක්‍රියා පටිපාටිය මුල සිටිම පිළිපැදීමට බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයට සිදුවන බවයි. මේ සඳහා නීතිරීති තිබෙන බවත්, මේ අයුරින් කටයුතු කිරීම ඉහළ අධිකරණයකින් ලබාදුන් නියෝගයක් පහළ අධිකරණයකින් අවලංගු කිරීම වැන්නක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව, ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන ලීග් තරගාවලියට සහභාගී වීමට නියමිත CH & FC, CR & FC සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය මෙන්ම, පොලිස්, යුදහමුදා, නාවික හමුදා හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ එම තරගාවලියට සහභාගී වීම නිති විරෝධී වනු ඇතැයි පැවසේ.

ඒ අනුව, තරගාවලියට නීත්‍යානුකූල ලෙස එක්වන්නේ මහනුවර ක්‍රීඩා සමාජය පමණි.

සාමාජිකත්වය නැතත් AGM, රැස්වීම් වලට ගිහින්?

මේ අනුව, බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ සාමාජිකත්වය අත්හිටුවා තිබියදීත්, එහි සාමාජිකයින් 2020 වසරේ පැවති ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය වාර්ෂික මහා සභා රැස්වීමට සහ නිලවරණයට සහභාගී ඇති බවද වාර්තා වේ.

මෙම වාර්ෂික මහා සභා රැස්වීම 2020 අගෝස්තු 20දා කොළඹ රමාඩා හෝටලයේ ලිබර්ටි බෝල්රූම්හිදී පවත්වා තිබුණි.

මීට අමතරව, බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ සාමාජිකයන් දිගින් දිගටම ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කළ රැස්වීම් වලට ද සහභාගී වී ඇති බවත්, ඔවුන් මූල්‍ය කාරණා සම්බන්ධයෙන් යම් යෝජනා සිදු කිරීමේ හා ස්ථිර කිරීමේ කටයුතු වලටද එක්වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

තවද, මෑතකදී බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේද වාර්ෂික මහා සභා රැස්වීමද පවත්වා ඇති අතර, ඊට CR & FC හැරුණු විට A කාණ්ඩයේ සමාජ හතෙන් හයක්ම එක්වී නොමැති බවද වාර්තා වේ. CR & FC සමාජය ජීවන් ගුණතිලක විසින් මෙහිදී නියෝජනය කර තිබුණු බව පැවසේ.

ඒ අනුව, සාමාජිකයන්ගේ අඩුපාඩුව පිරිමැසීමට තවදුරටත් රග්බි ක්‍රීඩා නොකරන පීටර්සන් ක්‍රීඩා සමාජය වැනි ක්‍රීඩා සමාජ වලින් නියෝජිතයන්ද සිට ඇතැයි පැවසේ.

මෙම සමස්ථ තත්ත්වය හමුවේ රග්බි ක්‍රීඩාවට අතුරු කමිටුවක් පත්කිරීමේ ඉඩකඩක්ද ඇති බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අනාවැකි පළ කරයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top