Feb 17, 2022

ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබී දශක 4යි!

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් පිටියට පා තබා අද (17) දිනයට වසර 40ක් සපිරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය සන්ධිස්ථානයක් බවට පත්වූ පළමු ටෙස්ට් තරගය 1982 වසරේ පෙබරවාරි 17 වැනිදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පී.සරවණමුත්තු පිටියේදී ආරම්භ විය.

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බන්දුල වර්ණපුර විසින් දැරූ අතර එංගලන්ත කණ්ඩායමේ නායකත්වය කීත් ෆ්ලෙචර් විසින් දැරීය.

එම තරගයේ ඉනිම දෙකෙහිදීම වැඩිම ලකුණු රැස් කරන්නට ඩේවිඩ් ගවර් (131) සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් රෝයි ඩයස් (77) වැඩිම ලකුණු ලාභියා විය.

අදාළ තරගයේ ඉනිම් දෙකෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසන්ත ද මෙල් කඩුලු 5ක් බිඳ හෙළීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ පළමු ක්‍රීඩකයා අසන්ත ද මෙල් වන අතර ඔහුගේ සිට මේ දක්වා ක්‍රීඩකයන් 157 දෙනෙකු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියට පිවිස ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ මෙතෙක් අවසන් නම ලෙසින් චරිත් අසලංක සටහන් වේ.

ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් තරග 299ක් ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 95ක් ජය ගෙන ඇති අතර තරග 113ක් පරාජය වී තරග 91ක් ජය පැරදුමෙන් තොරව අවසන්ව තිබේ.

(අරුණ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top