Feb 20, 2022

ඩයලොග් රග්බි අත්හරියි; රග්බි සංගමය කබලෙන් ලිපට වැටෙයි! Featured

මේ වන විට තමන් සමග සිටි ප්‍රධාන අනුග්‍රාහකයන් පස්දෙනාම අහිමි වීමත් සමගම ශ්‍රී ලංකා රග්බි සංගමය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී සිටින බව වාර්තා වේ.

අන්තර්ජාතික රග්බි පාපන්දු සම්මේලනය විසින් ලෝකයේ රග්බි සංගම් වෙත මූල්‍ය අරමුදල් ලබාදෙන්නේ ක්‍රීඩාවේ දියුණුව සඳහා වන අතර, මෙම මුදල් අවභාවිතා කර ඇති බවට කිසියම් අවස්ථාවකදී හෙළි වුවහොත් අන්තර්ජාතික රග්බි පාපන්දු සම්මේලනයේ ප්‍රතිපත්ති නොසලකා හැරීම හා මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් එම සංගම් වලට එරෙහිව පියවර ගැනෙනු ඇත.

ශ්‍රී ලංකා රග්බි සංගමය විසින් මෙලෙස ලද මුදල් අවභාවිතා කර ඇති බවට මේ දක්වා වාර්තා වී නොමැති අතර, එවැන්නක් කිසියම් අවස්ථාවකදී හෙළි වුවහොත් දැඩි මූල්‍යමය පාඩු ලැබීමට එම සංගමයට සිදුවනු ඇත.

මේ වන විට දැඩි ලෙස ණය වී, විවිධ පාර්ශව වලින් එන්තරවාසි ද ලබා ඇති ශ්‍රී ලංකා රග්බි සංගමයේ මූල්‍ය තත්වයට දැඩි පහරක් එල්ල වී ඇත්තේ වසර ගණනාවක් පුරාවට ඔවුන්ගේ ප්‍රධානතම අනුග්‍රාහකයෙකු වූ ඩයලොග් ආසියාටා සමාගම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමත් සමගයි.

මේ සම්බන්ධයෙන් ඩයලොග් ආයතනයේ නම්ගම් හෙළි නොකළ නිලධාරියෙකු පවසා සිටියේ මෙසේය :

"අපි වසරක කාලයක් සඳහා රු. මිලියන 60ක් ලබාදීමට ඉදිරිපත් වී එම මුදල අනුමත කරගැනීමට සති තුනක කාලයක් ඉල්ලා සිටියා. රු. මිලියන 20ට වැඩි ඕනෑම ගෙවීමක් සඳහා අපගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වීම එයට හේතුවයි. එවිට රග්බි සංගමයේ නිලධාරීන් පවසා සිටියේ ඔවුන් දැනටමත් තම ලීග් තරඟාවලිය සැලසුම් කර ඇති බැවින් නියමිත වේලාවට එය ආරම්භ කිරීමට සති 3ක් බලා සිටිය නොහැකි බවයි. ඉන්පසු අප යෝජනා කළේ තරඟාවලිය ආරම්භ කිරීමට රුපියල් මිලියන 19ක් දී ඉතිරි මුදල වන රු. මිලියන 41 අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලැබුනු පසුව ලබාදීමටයි. එවිට ඔවුන් කියා සිටියේ තත්ත්වය එසේ නම් අපට තරග ආවරණය කිරීමට මාධ්‍ය අයිතීන් ලබාදිය නොහැකි බවයි."

"තරග නැරඹීමට පැමිණීම සඳහා ප්‍රේක්ෂකයන් හට අවසර නැති බැවින් අපට අනුබද්ධිත 'පපරේ' ආයතනය හරහා රූපවාහිනී විකාශය ලබාදීමට නොහැකි නම් එය අපගේ පාර්ශවයට වාණිජමය වාසියක් නැහැ. ඇයිද පැවසුවොත් අනුග්‍රාහක පිරිවැයට අමතරව රූපවාහිනී ආවරණය සැපයීම සඳහා අතිවිශාල මුදලක්ද වැය වන නිසා. ඒ නිසා අප ඉවත්වෙන්න තීරණය කළා. කෙසේවුවත් අප පාසැල් රග්බි සඳහා අනුග්‍රාහකත්වය අප ලබාදෙනවා."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top