Apr 13, 2017

ක්‍රිකට් තරග පාවාදීම: පරීක්ෂණයට මොකද වුනේ?

ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් ක්‍රීඩා සමාජ තරගාවලියේ කළුතර සංස්කෘතික කවය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය ජනවාරි මාසයේ පැවති තුන් දින අවසාන මහා තරගය පාවා දුන් බවට චෝදනා එල්ල විය.

එම චෝදනාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා සති කිහිපයක් ඇතුලත වැරදිකරුවන්ට දඬුවම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මීට මාස දෙකකට ඉහතදී බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ නමුත් අදාළ පරීක්ෂණයේ ප්‍රතිඵලය කවරක් දැයි මෙතෙක් අනාවරණය වී නැත.

'ප්‍රමාදයක්'
ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ මතිවානන්, පරීක්ෂණයේ ප්‍රමාදයක් පවතින බව පිළිගත්තේය.

අදාළ චෝදනාවලට සම්බන්ධ සියළු පාර්ශවවලින් කරුණු විමසා බලා සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතුව තිබෙන බව සඳහන් කළ ඔහු, එබැවින් කිසියම් ප්‍රමාදයක් සිදු වූ නමුත් සාධාරණය ඉටුකරන බව අවධාරණය කළේය.

"අපි තීන්දුවක් ගන්න ඕන සත්‍ය කරුණු මත පදනම් වෙලා. එහෙම නැතිව හදිසි වෙලා වැරදි තීන්දුවක් ගන්න අපේ බලාපොරොත්තුවක් නැහැ."

චෝදනාවට ලක් වී තිබෙන තුන් දින තරගයේ අවසාන දිනයේදී දෙපාර්ශවයම ඕවරයකට ලකුණු 10 කට වඩා රැස් කළ අතර, දිනයක් ඇතුළත කඩුලු 24 ක් බිඳ වැටුණු බවට චෝදනා එල්ලවිය.

එදින විනාඩි 20 ක් ඇතුළත ඕවර 13 ක් පන්දු යවා තිබේ.

'සාධාරණය ඉටුකරනවා'
අදාළ ක්‍රීඩා සමාජ දෙකේම ප්‍රධානීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තනතුරු හොබවන බව, තරග පාවාදීමේ චෝදනාව එල්ල කළ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වාදෙයි.

චුදිතයන් කවරකු හෝ අදාළ චෝදනාවලට වැරදිකරු බව සනාථවුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් පැමිණවීමට නොපැකිලෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ මතිවානන් අවධාරණය කළේය.

"අපි අනිවාර්යයෙන්ම සාධාරණය ඉටු කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා."

ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් තරගාවලිය අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පළමු පෙළ තරගාවලියක් ලෙස පිළිගෙන තිබේ.

අදාළ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට බරපතල කළු පැල්ලමක් බව බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබුණි.

(බීබීසී සංදේශය)

සබැඳි පුවත් :

ක්‍රිකට් ලොක්කන් කිහිපදෙනෙක් අස්වෙන්න යයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top