May 13, 2022

කැන්ගරුවන්ගේ ශ්‍රී ලංකා සංචාරයේ වෙනසක් දැනට නැහැ

ශ්‍රී ලංකාවේ පවතින නොසන්සුන්කාරී තත්ත්වයක් පැවතියද, ලබන මාසයේදී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ තවමත් වෙනසක් සිදුවී නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පන්දුවාර විස්සයි20 තරග 3ක්, එක්දින තරග 5ක් සහ ටෙස්ට් තරග 2ක් ඇතුළත් මෙම තරගාවලිය, ජුනි 07දා ආරම්භ වීමට නියමිතය.

තවද, මීට සමගාමීව ඕස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම ද මෙරට සංචාරය කිරීමට සැලසුම් කර තිබෙන අතර, ඔවුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග තරග 4ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් තිබුනේ සංචාරය කිරීමට පෙර නැවත සලකා බලන ලෙසයි.

DFAT පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ගමනාගමනයට සහ පොදු ප්‍රවාහන කටයුතු වල ඇණහිටීම් ඇති විය හැකි බවයි. එමෙන්ම ඉන්ධන සැපයුම් වල බාධා ද, දිගු කාලීන විදුලිය ඇණහිටීම් ද ඇතිවිය හැකි බවත්, ශ්‍රී ලංකාවේදී ඇතැම් ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේදී ගැටලු මතුවිය හැකි බවත් DFAT වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඔවුන් දිගින් දිගටම DFAT සමග සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන්ම විමසිලෙන් පසුවන බවත්ය.

ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිල අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබුවේ 2016 වසරේදීය. එහිදී තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 3-0කින් ජයගැනීමට සමත්විය. එහෙත් එම සංචාරයටම අයත් වූ එක්දින තරගමාලාව 4-1කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

එහිදී තරග 2කින් සමන්විත පන්දුවාර විස්සයි20 තරගාවලිය ද 2-0කින් ජය ගැනීමට සමත් වූයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top