ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක් කලක් ලබාදුන් වැටුප ද කපා දමා ඇති බවත් මේ නිසා තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවත් මේ නිසා තමන් සතු වටිනාම වස්තුව වන ඔලිම්පික් පදක්කම වෙන්දේසි කර තම ජීවිකාව කරගෙන යන්නට උත්සාහ දරන බවත් ඇය පැවසුවාය.
සුසන්තිකා ජයසිංහ මහත්මිය වැඩිදුරටත් මෙසේ ද කීවාය.
"එදා මම ක්‍රීඩා කරන කාලයේත් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විවිධ බලපෑම් ආවා. ඒත් මම ඒවාට නොසැලී කටයුතු කළා. අදත් මට ඒ අමාත්‍යාංශයෙන් බලපෑම් එනවා.
උපදේශිකාවක් හැටියට මම මගේ යුතුකම් හරියට ඉටු කළා. දැන් මගේ වැටුපත් කපා දාලා. මේවා අසාධාරණයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ අයවත් මම ජීවත් කරවන්න ඕනෑ. ඒ නිසා මම තීරණයක් ගත්තා. මගේ ඔලිම්පික් පදක්කම විකුණලා හරි සල්ලි හොයාගන්න"
ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දෙමින් 2000 වසරේදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී සුසන්තිකා ලෝකඩ පදක්කමක් දිනාගත් අතර එහිදී රන් පදක්කම දිනූ මේරියන්ස් ජෝන්ස් ක්‍රීඩිකාවට එල්ල වුණු තහනම් උත්තේජක චෝදනාව සනාථ වූ නිසා සුසන්තිකා හට රිදී පදක්කම පිරිනමනු ලැබුවාය.
ඔය හදන්නේ ඔස්ට්‍රේලියා පනින්න - ක්‍රීඩා ඇමැති
''මෙයා එදා එස්. බී. ඇමැතිතුමාටත් බොරු චෝදනා එල්ල කළා...''
සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් විමසූ විට ඇමැතිවරයා මෙසේ පැවසීය.
'' සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක් ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ.
එයා ඔය ඔලිම්පික් පදක්කම විකුණනවා කියන්නේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන්. මෙයාට ඕන කරලා තියෙනවා ඔස්ට්‍රේලියා යන්න. අන්න ඒකයි හේතුව. මෙයා එදා එස්. බී. ඇමැතිතුමාට බොරු චෝදනා එල්ල කළා. අද මටත් බොරු චෝදනා එල්ල කරනවා.''
(දිවයින)