අවසන් මහා තරගයේදී ශූරයන්ගේ කුසලානයේ ඉකුත් හිමිකරුවන් වූ ඉන්දීය කණ්ඩායම ලකුණු 180කින් පරාජයට පත් කිරීමට පාකිස්තානය සමත් විය.
පාකිස්තන කණ්ඩායමක් ශූරයන්ගේ කුසලානය ජයගත් පළමු අවස්ථාව මෙය වීමද විශෙෂිතය.
පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් ලකුණු 338ක් රැස්කරගත් අතර එයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 158 පමණි.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ඉහළම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු වූයේ හර්දික් පාණ්ඩ්යාය. ඔහු ලකුණු 76ක් රැස්කළේ පන්දු 43කිනි. ඔහු සිය අර්ධ ශතකය පන්දු 38කින් වාර්තා කළ අතර අයි.සී.සී. ලෝක ඉසව්වකදී අවසන් මහ තරගයකදී වාර්තා වූ වේගවත්ම අර්ධ ශතකයද එය විය.
ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමුවෙන්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 4 ලකුණු 338 රැස්කළේය.
පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදීමට අසාර් අලී හා ෆක්හාර් සැමන් සමත්වූහ.
එම ආරම්භය බාබර් අසාම්, මොහොමඩ් හෆිස් යන පිතිකරුවෝ ඉදිරියට රැගෙන යමින් පාකිස්තාන ඉනිම ඉහළ ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගියහ.
පාකිස්තානය රැස්කළ ලකුණු සංඛ්‍යාව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගයකදී පළමුවෙන්ම පන්දුවට පහරදුන් කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛාව වීම කැපී පෙනුනි.
ඉමාඩ් වසීම් හා මොහොමඩ් හෆීස් පස්වැනි කඩුල්ල සඳහා පන්දුවාර 7.3කදී නොබිදුණු ලකුණු 71ක සබඳතාවක් ගොඩනැංවූහ.
ෆක්හාර් මංගල ශතකය ලබයි
සිය ඒක්දින දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට ෆක්හාර් සමන් සමත්විය. ෆක්හාර සිය ජාත්‍යන්තර එක්දින දිවිය ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ආරම්භ කළ අතර ඊයේ ඔහු ක්‍රීඩා කළේ සිය සිව්වැනි එක්දින තරගයටය. ඔහු සිය දෙවැනි හා තෙවැනි එක්දින තරගවලදී අර්ධ ශතක රැස්කිරීමටද සමත්විය.