Sathosa

Aug 26, 2017

සල්ලි ප්‍රශ්න යොවුන් රග්බි පිලේ ඔලිම්පික් සිහිනය උදුර ගනියි ! Featured

ලබන වසරේදී (2018) පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය නියෝජනය කරන ආසියානු කණ්ඩායම තෝරා ගැනීමේ තරගාවලියට එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියට සහභාගිවීමට මූල්‍යමය ප්‍රතිපාදන සොයා ගැනීමේ අර්බුදයක් හේතුවෙන් බවද පැවසේ.

මේ තත්ත්වය ඇතිව ඇත්තේ ශ්‍රී ලංකා රග්බි සංගමය සහ ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය අතර හටගෙන තිබෙන කඹ ඇදීම හේතුවෙන් බව කේෂ්ත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලේකම්ගේ කතාවලින් එළියට ආ මතේ

මේ තත්ත්වය සනාථ කරන ප්‍රකාශයක් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ලේකම් නසීම් මොහොමඞ් මහතා මාධ්‍ය වෙත කර තිබිණි.

ඔහු එහිදී එම සංචාරයට මූල්‍යමය ප්‍රතිපාදන තම සංගමය සතුව නොමැති බව මූලික වශයෙන්ම ප්‍රකාශ කර තිබිණි.

ඊට අමතරව මෙසේද පවසා තිබුණි.

”අපිට හැමදාම කනිෂ්ඨ රග්බි වලට මුදල් යොදවන්න බෑ. ඒක පාසල් රග්බි සංගමය කළ යුතු දෙයක්. අපි ගිය අවුරුද්දේ මිලියන 25 ක් පාසල් රග්බි වලට වියදම් කළා. ඒ වගේම ගිය අවුරුද්දේ පාසල් රග්බි සංගමයට අපි වෙනම මිලියන 5 කුත් දුන්නා. ඒ මිලියන 5 අද වනතුරු අපිට ලැබිලා නෑ. ඒ වෙනුවෙන් අපි එන්තරාවාසියකුත් යවලා තිබෙනවා. කනිෂ්ඨ රගර් දියුණු කිරීම පාසල් රග්බි සංගමයේ වගකීමක්. අපිට තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ රග්බි ක්‍රීඩාව දියුණු කිරීමේ අභියෝගයයි.”

”අපිට ලැබෙන මුදල් කනිෂ්ඨ රග්බි වලට වියදම් කරන්නයි දැන් අපිට වෙලා තියෙන්නේ. මේක හැමදාම කරන්න බෑ. ජ්‍යෙෂ්ඨ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් අපි කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ක්‍රීඩා සමාජ දියුණු කිරීම, කාන්තා රග්බි ක්‍රීඩාව දියුණු කිරීම වගේ දේවල් රැසක් තිබෙනවා.”

”පාසල් රග්බි වලට ප්‍රතිපාදන සොයාගන්න පාසල් රග්බි සංගමය දැනගන්න ඕන. එහෙම වුණානම් මේ වගේ ගැටලූ මතුවෙන්නේ නෑ. කනිෂ්ඨ රග්බි ක්‍රීඩාව තමයි ජාතික කණ්ඩායමට සම්පත් සොයා දෙන්නේ. ඉතිං එයාලා දැනගත යුතුයි කනිෂ්ඨ රග්බි ක්‍රීඩාව දියුණු කරන්න. එත් ඔවුන්ට ඒ ගැන කිසිම උනන්දුවක් නෑ. මේ තරගාවලිය ගැනත් උනන්දුවක් නෑ. පාසල් රග්බි ක්‍රීඩාවේ සංවර්ධනයට ඔවුන්ගේ කිසිම සැලසුමක් නෑ. පසුගිය වසරේ අපි අවුරුදු 18 න් පහළ පාසල් ක්‍රීඩිකාවන්ට ඩුබායි සංචාරයක් ලබා දුන්නා. ඒත් මේ අවුරුද්දේ ඒක කරන්න බැරි වේවි. මේවා පාසල් සංගමයෙන් කළ යුතු දේවල්.” ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

යවන පිල තෝරන්න 38කුත් තෝරලා !

එම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සැප්තැම්බර් 09 සහ 10  යන දිනයන්හිදී චීන තායිපේහිදී පැවැත්වීමට නියමිතය.

වයස අවුරුදු 17 න් පහළ මෙම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පිල තෝරා ගැනීමට ක්‍රීඩකයන් 38 දෙනකුගෙන් සමන්විත සංචිතයක්ද ගොඩනගා තිබූ අතර ජාතික රග්බි තේරිම් කමිටු ප්‍රධානි මයිකල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංචිතයේ අවසන් තෝරා ගැනීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබූ බවද පැවසේ.

යොවුන් ඔලිම්පික් ආර්ජන්ටිනාවේ

මේ පිළිබඳ පාසල් රග්බි සංගමයේ ප්‍රකාශයකු පැවැසුවේ එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට රග්බි සංගමය හරහා ලැබී තිබූ ආරාධනාවකට අනුව පාසල් සංගමයෙන් මූලික වැඩ කටයුතු සූදානම් කළ බවය.

එමෙන්ම එම තරගාවලියට කණ්ඩායම සහභාගි කරවීම ජාතික සංගමය විසින් සිදුකිරීමට නියමිතව තිබුණත් මූල්‍යමය ප්‍රතිපාදන අර්බුදයක් මත එම සංචාරය අවලංගු කිරිමට ජාතික රග්බි සංගමය පියවර ගත් බවද ඔහු පැවසීය.

ලබන වසරේ ඔක්තෝබර් මස ආජන්ටිනාවේ බුවනෝර්ස් අයර්ස් නුවරදී පැවැත්වීමට නියමිත තුන්වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාලක හා බාලිකා සත් සාමාජික රගර් තරගාවලිය සඳහා කණ්ඩායම් 6 බැගින් තරග වැදීමට නියමිතය.

එම තරගාවලියට සත්කාරක ආජන්ටිනා කණ්ඩායම සමඟ දකුණු අමෙරිකාව, උතුරු අමෙරිකාව, යුරෝපා මහද්වීපය, අප්‍රිකාව සහ ආසියා මහාද්වීපයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගවලින් කණ්ඩායම බැගින් තෝරාගැනේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top