Jan 06, 2018

මාලිංගගේ බඩ වැඩිවුණාට වැඩ වැඩිවී නෑ ! Featured

බංග්ලාදේශය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර ජනවාරි මාසයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් සමන්විත සංචිතයට හිටපු නායක ලසිත් මාලිංග ඇතුළත් නොකිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන ඇත්තේ පසුගිය වසරේ ඔහු දක්ෂතා අතර නොසිටීම නිසා බව වාර්තා වේ.

මේ වසරේදී එක්දින තරග 13 කට සහභාගී වූ මාලිංග, එහිදී දවාගැනීමට සමව ඇත්තේ කඩුලූ 10 ක් පමණි.

ඒ අතරවාරයේදී මාලිංගගේ පන්දු යැවීම හමුවේ ලකුණු 623 ක් ලබාගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව තිබේ.

මේ වසරේ එක්දින තරගයකදී මාලිංගගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 63.20 ක අගයක් ගන්නා අතර ඔහු තරගයකදී කළ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වූයේ ලකුණු 44 කට කඩුලූ 2 ක් දවාගැනීමයි.

මාලිංග නායකත්වය දැරූ තරග දෙකේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය වීමට සිදුවිය.

පසුගිය සැප්තැම්බර් මස ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ලසිත් මාලිංගට, ඔක්තෝබර් මස එක්සත් අරාබි එමීර්හිදී පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී මෙන්ම දෙසැම්බර් මස ඉන්දියාවේදී පැවැති එක්දින තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය.

වසර 2010 දී ටෙස්ට් පිටියෙන් සමුගත් ලසිත් මාලිංග, එතැන් සිට දිගින් දිගටම සීමිත පන්දුවාර තරග වලට සහභාගි විය.

පිට කොන්දේ ආබාධයකට ලක්ව සිටි ඔහු මේ වසරේ මැද භාගයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්විය.

ඉන් මාස කිහිපයකට පසුව පැවැති එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමටත් තෝරා ගැනිණ.

එසේ වුවත් මේ වසරේදී පන්දු යවන්නෙක් වශයෙන් අසාර්ථක වීම නිසා මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය අහිමි වූවා පමණක් නොව, ඉන්දියාවේදී පැවැති පන්දුවාර විස්සයි - 20 තරගාවලියේදීත් ඔහුව විවේක ගැන්වූ බවට තේරීම් කමිටුව නිවේදනය කර තිබිණ.

කෙසේවුවද, චන්දික හතුරුසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ දෙසැම්බර් පසුගිය දෙසැම්බර් 28 වැනිදා තුන්කොන් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයේ පුහුණුවීම් ආරම්භ වූ අතර සංචිතයට ඇතුළත්ව නොසිටි මාලිංගද ස්වෙච්ඡාවෙන් එම පුහුණුවීම් සඳහා සහභාගි වී සිටි අයුරු මාධ්‍ය වාර්තා කර තිබිණ.

හතුරුසිංහ මහතාගේ උපදෙස් මත බංග්ලාදේශ සංචාරය සඳහා තෝරා ගන්නා ලද එක්දින සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 23 දෙනාටම සංචාරය ආරම්භ වනතුරු දේශීය පළමු පෙළ තරගාවලියට ක්‍රීඩා නොකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබේ.

ඉකුත් නොවැම්බර් මස පැවැති ඉන්දීය සංචාරයට තෝරා නොගත් කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල්ද බංග්ලාදේශ සංචාරය සඳහා නම්කරන ලද සංචිතයට ඇතුළත්ව සිටින අතර විශේෂත්වය වන්නේ මෙම සංචිතය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා නම් කර නොතිබීමයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top