Jan 07, 2018

ඔලිම්පික් කමිටු නිලවරණය ඉල්ලා ජගත් ඔලිම්පික් කමිටුවට පෙත්සමක් ! Featured

ජාතික ඔලිම්පික් කමිටුව තුළ බිඳ වැටී ඇති සමගිය යළිත් ඇතිකර, වසර හතරක් තිස්සේ දිග්ගැසෙමින් තිබෙන එහි නිලවරණය පැවැත්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට ජාතික සංගම් කිහිපයක් එක්ව ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් කළ සොයාබැලීමකදී එම ලිපියට ජාතික ක්‍රීඩා සංගම් 14 ක ප්‍රධානීන් අත්සන් තබා ඇති බවද හෙළිවිය.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට මැදිහත්වන ලෙස මින් පෙර අවස්ථාවකද ක්‍රීඩා සංගම් ගණනාවක් එක්ව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව වෙත ලිපියක් යවා තිබිණ.

එහි වැඩි විස්තර සඳහන් නොවීම ඒ සම්බන්ධයෙන් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ අවධානය යොමු නොවීමට හේතු වූ බව ක්‍රීඩා ප්‍රවීනයන්ගේ මතය වේ.

එසේ වුවත් මීට දින කිහිපයකට ඉහතදී අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කළ මෙම ලිපියට කරුණු ගණනාවක් අඩංගුව ඇතැයි පැවසේ.

විශේෂයෙන්ම නිලවරණ ප්‍රශ්නයේදී ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ලිපිය ඔස්සේ චෝදනා කරන ජාතික ක්‍රීඩා සංගම්, අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවද එමගින් දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ උද්ගතවී තිබෙන වත්මන් ඔලිම්පික් ප්‍රශ්නය සම්බන්ධයෙන් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් පෞද්ගලිකව මුණගැසී සාකච්ඡා කිරීමටද සූදානම් බව ලිපිය යොමු කළ ක්‍රීඩා සංගම් දන්වා ඇතැයි වාර්තා වේ.

නිලවරණය පෙබරවාරි 12 දා

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබන පෙබරවාරි මස පැවැත්වීමට තීරණය කර ඇතත් එයද පැවැත්වීම මේවන විට ප්‍රශ්නගතව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ මුදල්වලට සම්බන්ධ ප්‍රධාන තනතුරක් දරන නිලධාරියකු පැවසුවේ මූල්‍ය වාර්තාවලට විගණකාධිපතිවරයාගේ අනුමැති ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් මේ තත්ත්වය ඇතැව ඇති බවද පැවසේ.

සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික නිලවරණයට නුසුදුස්සෝ

නව ක්‍රීඩා නීතියට අනුව ගිණුම් වාර්තා නියමිත කාලයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ක්‍රීඩා සංගමයක සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන තිදෙනා නිලවරණයට ඉදිරිපත්වීමට නුසුදුස්සන් බවට පත්වෙති.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණේ රටේ ක්‍රීඩා නීතිය ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වන බවයි.

ජාතික ඔලිම්පික් කමිටුව 2012 වසරේ සිට ගිණුම් වාර්තා නිසි කාලයට ඉදිරිපත්කර නොමැති අතර මේ වනවිට වසර කීපයක ගිණුම් වාර්තා අනුමැතිය සඳහා විගණකාධිපතිවරයාට යොමුකර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top