Jan 13, 2018

යොවුන් ක්‍රිකට් පිල අනුග්‍රාහකයකු නැතුව හෙට පිටියේ !

අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධානයෙන් නසීලන්තයේදී පැවැත්වෙන 12 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘යොවුන් ලෝක කුසලානය’ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය හෙට (14) අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතය.

මෙහිදී ශ්‍රී ලංකාව ‘ඩී’ කාණ්ඩයේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තයට එරෙහිව තරග කරයි.

ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය ඇෆ්ගනිස්තානයට එරෙහිව ලබන බදාදා ද, තෙවැනි තරගය පාකිස්තානයට එරෙහිව ලබන සිකුරාදා ද, පැවැත්වීමට නියමිතය.

කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල මෙම තරගාවලියට පෙර සහභාගි වූ පුහුණු තරගය පරාජයට පත්විය.

කමිඳුට නායකත්වය දීම ගැන ගැටලු !

මේ අතර, මීට පෙර එම පිලට නායකත්වය දුන් හලා දමා කමිඳු නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ගැටලු ඇති බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේදී ඇතැම් ක්‍රීඩකයන්ට අසාධාරණකම් සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන්ට චෝදනා එල්ලවී තිබේ.

මෙවර තරගාවලියට ටෙස්ට් තත්ත්වය ලැබූ රටවල් 12 සහ ටෙස්ට් තත්ත්වය නොලැබූ රටවල් 4 ක් සමගින් රටවල් 16 ක් සහභාගි වෙයි.

සම්පූර්ණ තරගාවලියට තරග 48 ක් ඇතුළත් වන අතර එම තරග ක්‍රීඩාංගණ 7 කදී පැවැත්වීමට සැලසුම්කර තිබේ.

පළමු වටය කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් කාණ්ඩ හතරක් යටතේ තරගාවලිය පැවැත්වේ. එහිදී කාණ්ඩ හතරේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා කණ්ඩායම් 8 ට ‘සුපිරි අට’ වටයට සුදුසුකම් ලබයි.

අනුග්‍රාහකයෙක් නෑ

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් වෙළඳ අංශයට මෙම කණ්ඩායමට අනුග්‍රාහකයකු සොයා ගැනීමට නොහැකිවීම නිසා එම කණ්ඩායම නවසීලන්තයට ගොස් ඇත්තේ අනුග්‍රාහකයකු නොමැතිවය.

කෙසේවුවද, ලෝක කුසලානයට එක්වන අනෙක් සියලු කණ්ඩායම්වලට අනුග්‍රාහකයන් සිටින බවද පැවසෙන අතර ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකයන් සෙවීමට ලක්ෂ ගණනින් වැටුප් ගෙවා ක්‍රිකට් ආයතනයට නිලධාරීන් රොත්තක් සිටින බවද පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top