ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දීර්ඝ තරග සංචාරයක් අරඹමින් අද (29) බංග්ලාදේශය බලා පිටත්ව යයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළ විස්සයි20 සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු ඇතුළත්ව ඇති අතර ඒ අනුව ඔවුන් අද (29) මෙරටින් පිටත්ව යන කණ්ඩායමට ඇතුළත් වෙති.
මේ කණ්ඩායමේ නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරන අතර ඔහුට ඇෆ්ගනිස්තානය සමඟ පැවති තරගාවලියෙන් අනතුරුව තරග දෙකක තහනමක් පැනවීම හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි මුල් තරග දෙකේදී උපනායක චරිත් අසලංක වැඩ බලන නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.
නිමා වූ ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක හැර සෙසු ක්‍රීඩකයන් 15 දෙනා මේ සංචාරයට නම් කර ඇති අතර ඊට අමතරව විස්සයි20 තරගාවලිය වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සහ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
වැන්ඩර්සේ විස්සයි20 තරගාවලියකට කැඳවා ඇත්තේ වසර 2කට පසුව වන අතර අවිශ්කට වසරකට පසු විස්සයි20ට අවස්ථාවක් හිමිව තිබීම විශේෂත්වයකි.
2022 වසරේ පෙබරවාරි මස ඉන්දියාවට එරෙහිව අවසන් විස්සයි20 තරගයකට එක් වූ වැන්ඩර්සේ තරග 14කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 7කි.
නායක වනිඳුට මුල් තරග දෙක අහිමි වීම හේතුවෙන් වැන්ඩර්සේට ඒ සඳහා ක්‍රිඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ඇෆ්ගනිස්තානයට එරෙහි විස්සයි20 තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් මේ තරගාවලිය අහිමිවීම නිසා ඔහු වෙනුවට අවිශ්ක කැඳවා තිබේ.
ඔහු මෙලෙස විස්සයි20 තරගාවලියකට එක් වන්නේ වසරකට පසුවය.
අවිශ්ක අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරගාවලියකට එක් විය. විස්සයි20 තරග 33කට ක්‍රීඩා කර ඇති අවිශ්ක ලකුණු 337ක් රැස් කර ඇත.
ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයේදී පූර්ණ තරග සංචාරයකට එක්වන අතර එහිදී විස්සයි20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත්ව තිබේ.
දෙරට අතර විස්සයි20 තරගාවලිය මේ 4 වැනිදා සිල්හෙට්හිදී ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් මාර්තු 6 සහ 9 දිනවල සිල්හෙට්හිදීම පැවැත්වේ.
ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මධුෂංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ.