මේ දින වල බ්‍රසීලයේ ඇමසන් නදිය ආශ්‍රිතව පවතින උග්‍ර නියං කාලගුණය හමුවේ එම කලාපයට ආවේණික සත්ත්ව විශේෂයක් වන “ඇමසන් ඩොල්ෆින්“ සතුන් 120ක පමණ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම මරණ වාර්තා වන්නේ බ්‍රසීලයේ ඇමසන් නදිය ආශ්‍රිතව ඇති ටෙෆේ විලෙනි.
පර්යේෂකයෝ විශ්වාස කරන්නේ දැඩි නියං හමුවේ ගංඟා වල ජල මට්ටම් අඩු වීම නිසා, ඇතැම් ජලාශ කොටස් වල උෂ්ණත්වය ඩොල්ෆින් සතුන්ට දරාගත නොහැකි ලෙස වැඩි වන බවයි. ජලයේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් ඇමසන් ගංගාවේ මසුන් දහස් ගණනක් පසුගියදා මියගොස් තිබුණි.
සුදු ආරක්ෂිත ඇඳුම් කට්ටල වලින් සැරසුනු සත්ත්ව විද්‍යාඥයින්, ඊයේ දිනයේදී දැඩි දුර්ගන්ධය මධ්‍යයේ, මෙලෙස මියගිය ඩොල්ෆින් සතුන් ගේ මළසිරුරු රැස් කර මරණ පරීක්ෂණ සිදුකර ඇත.
බොහෝ විට රෝස පැහැයෙන් යුත් ඇමසන් ඩොල්ෆින් සතුන් දකුණු ඇමරිකාවේ ගංගාවල පමණක් දක්නට ලැබෙන අද්විතීය මිරිදිය ක්ෂීරපායි විශේෂයකි. මන්දගාමී ප්‍රජනක චක්‍රයක් හා පරිසර දූෂණය වැනි හේතු රැසක් හේතුවෙන් මෙම විශේෂයේ සතුන් ලෝකයේ ඉතිරිවඇත්තේ අතලොස්සක් පමණි.
පසුගිය දින වල ටෙෆේ විල් ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ක් දක්වා වැඩි වූ අතර, එය සාමාන්‍යයෙන් මේ කාලයේ පවතින උෂ්ණත්වයට වඩා අංශක 10ක් වැඩි බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
(මුලාශ්‍රය – රොයිටර්)