ගාසා යුද්ධය අවසන් වනතෙක් අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල විකාශන කටයුතු සහ මෙහෙයුම් අත් හිටුවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අල් ජසීරා පුවත් සේවය හමාස් සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ හේතුවෙන් ගාසා යුද්ධය අවසන් වන තෙක් ඊශ්‍රායලයේ අල් ජසීරා මෙහෙයුම් අත් හිටුවීමට කැබිනට් මණ්ඩලය අවසර ලබා දුන් බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන් යාහු පැවැසුවේය.
ජෙරුසෙලමේ ඇම්බැසඩර් හෝටලයේ කාමරයක පවත්වාගෙන ගිය අල් ජසීරා කාර්යාලය ඊයේ(05) එරට පොලිසිය සෝදිසි කර තිබූ බවත් සිය පුවත් සේවය ඊශ්‍රායල ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින් එම සෝදිසි කිරීම ඊශ්‍රායල පොලිසිය කර තිබූ බවත් අල් ජසීරා පුවත් සේවය ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ ගත හැකි සෑම නීතිමය පියවරක්ම ගැනීමට සූදානම් බවත් සිය පුවත් සේවය ඊශ්‍රායල ආරක්ෂාවට තර්ජනයක් බව පැවැසීම කිසිඳු පදනමක් නොමැති ප්‍රකාශයක් බවත් අල් ජසීරා පුවත් සේවය පැවැසුවේය.
අල් ජසීරා පුවත් සේවයේ කාර්යාලයේ කළ සෝදිසි කිරීමේදී එම පුවත් සේවයට අයත් උපකරණ ඊශ්‍රායල පොලිසිය සිය බාරයට ගෙන ඇති බවද එරට සන්නිවේදන අමාත්‍ය ෂ්ලෝමෝ කාර්හි ප්‍රකාශ කළේය.
ඇම්බැසඩර් හෝටලයේ කාමරයක පවත්වා ගෙන ගිය අල් ජසීරා කාර්යාලය පොලිසිය විසින් සෝදිසි කරන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ඊශ්‍රායල සන්නිවේදන අමාත්‍යාංශය එක්ස් සමාජ මාධ්‍ය වෙත උඩුගත කර තිබිණි.
( ලංකාදීප )