අමෙරිකානු මගී ප්‍රවාහන ගුවන් යානයක් සහ යුද්ධ හමුදාවේ බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ දී එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 18 දෙනකුගේ සිරුරු සොයාගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් පසුව ගුවන් යානය සහ හෙලිකොප්ටර් යානය වොෂිංටන් ඩී.සී.හි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බවය.
අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ආසන්නයේ දී ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් උඩුගුවනේ දී එකිනෙක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබාමින් සිටි අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි.
අනතුරින් පසුව දෙකඩවූ ගුවන්යානය සහ, උඩුකුරුවූ හෙලිකොප්ටරය ගංගා ජලය මතට ඇදවැටී තිබුණි.
අමෙරිකානු බලධාරීන් පවසන්නේ කැන්සාස් හි සිට පැමිණි ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 64 දෙනෙක් සිට ඇති අතර, බ්ලැක්හෝව්ක් හෙලිකොප්ටරයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් ගමන් කරමින් සිටි බවය.
රාත්‍රී අඳුර සහ කලාපයේ පවතින දැඩි ශීතල හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී තිබේ.
මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාතික ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
(පෙර පුවත: 2025 ජනවාරි 30, ප.ව.12:36)
ගුවන්යානයක් හෙලිකොප්ටරයක ගැටී අනතුරක්
අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී අගනුවර ගුවනේ දී මගී ප්‍රවාහන ගුවන්යානයක් සහ යුද්ධ හමුදාවට අයත් බ්ලැක්හෝක් වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගැටී අනතුරක් සිදුව තිබේ.
එහිදී යානා දෙකම අසල පිහිටි පොටොමැක් ගංගාවට ඇදවැටී ඇති බව වාර්තා වේ.
කැන්සාස් හි සිට පැමිණි මෙම යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ මගීන් 64 දෙනෙක් ගමන් කර ඇති බව අමෙරිකානු බලධාරීන් පවසයි.
එමෙන්ම අනතුරට ලක්වූ බ්ලැක්හෝව්ක් යානය තුළ නිලධාරීන් තිදෙනෙක් සිටි බව සඳහන් වේ.
විදෙස් මාධ්‍යවලට අනුව මෙලෙස අනතුරට ලක්ව තිබුණේ රේගන් ජාතික ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කරමින් පැවති අමෙරිකන් ගුවන් සේවාවට අයත් මගී ප්‍රවාහන ගුවන්යානයකි.
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.
මේ අතර පවතින හදිසි අවදානම සලකා රේගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කටයුතු තාවකාලිකව මුළුමනින්ම අත්හිටුවා තිබේ.