Connect with us

විදෙස්

පාප් වහන්සේ ස්වර්ගස්ථ වීමට හේතුව වතිකානය නිල වශයෙන් නිවේදනය කරයි.

Published

on

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ ස්වර්ගස්ථ වීමට හේතුව ආඝාතය සහ දරුණු හෘදයාබාධ තත්ත්වයක් බව වතිකානය නිල වශයෙන් නිවේදනය කළේ ය.

මේ අතර, වතිකානයේ වැඩ බලන ප්‍රධානි හෙවත් කැමර්ලෙන්ගෝවරයා ලෙස කාදිනල් කෙවින් ෆැරල් නම් කර තිබෙනවා.

ලොවපුරා කතෝලිකයින්ගේ දෘෂ්‍යමාන නායකයාණන් සහ එඩේරාණන් වන අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් ඊයේ පෙරවරුවේ ස්වර්ගස්ථ විය.

උන්වහන්සේගේ වයස අවුරුදු 88 කි.වතිකාන වේලාවෙන් ඊයේ උදෑසන 7.35 ට පමණ උන්වහන්සේ ස්වර්ගස්ථ වුණේ, කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිවසේදී ය.

ශුද්ධෝත්තම හිමිපාණන්ගේ වියෝව සැලවීමත් සමග ලොව පුරා විශාල පිරිසක් වතිකානයට රැස්වෙමින් සිටී.

ලොව පුරා කතෝලික ජනතාව මේ වන විට ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් වෙනුවෙන් යාච්ඤා මෙහෙයන්වල නිරත වෙයි.

ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරනු ලබන ගෞරවයක් වශයෙන් ලොව ප්‍රසිද්ධ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය නිවා දැමීමට තීරණය කර තිබේ.පැරිස් නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පාප් වහන්සේගේ මතකයට ගෞරව කිරීමක් වශයෙන් අයිෆල් කුළුණ ඊයේ රාත්‍රියේදී නිවා දැමීමට තීරණය කළ බවය.

මේ අතර පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් ලොව පුරා රටවල් රැසක් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

සාම්ප්‍රදායානූකූලව සුදතුම් හිමිපාණන් නවාතැන් ගෙන සිටි කාසා සැන්ටා මාර්තා හී පිහිටි උන්වහන්සේගේ නිවස ඊයේ පස්වරුවේ මුද්‍රා තැබුණි. ඒ, කැමරලින්ගෝවරයා ලෙස හැදින්වෙන කාදිනල්වරයෙකු විසින් ය.

මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා රෝමයේ පිහිටි සාන්ත මරියා මැජෝරි දේවස්ථානය සූදානම් කරමින් පවතියි. ඒ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමියන්ගේ අවසන් කැමැත්තට අනුවයි.

රෝමයේ සාන්ත මරියා මැජෝරි දේවස්ථානය උන්වහන්සේගේ ජීවිත කාලය තුළ සුවිශේෂි දේවස්ථානයක් ලෙස උන්වහන්සේ හඳුන්වා දී තිබේ.

පාප්වහන්සේ කෙනෙකුගේ අවසන් කටයුතු වතිකානයෙන් පිටත සිදුකෙරෙන්නේ වසර 100 කට පමණ පසුව වීමද විශේෂත්වයකි.

මීට පෙර පාප්වහන්සේලාගේ අවසන් කටයුතු වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ විශේෂ පීඨිකාවකදී සිදුකෙරිණ‍.

උන්වහන්සේ සිය අවසන් කැමැත්තේ සදහන් කර ඇති ආකාරයට අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සාම්ප්‍රදායික අවසන් කටයුතු සිදුවන ආකාරයෙන් බැහැරව සරල සහ චාම් අවමංගල්‍ය උත්සවයක් පවත්වන්නැයි පාප්වහන්සේ ඉල්ලා ඇති බවයි.

සයිප්‍රස්, ඊයම් සහ ඕක් වලින් සාදන ලද කූඩු කළ පෙට්ටියක පාප්වහන්සේගේ දේහය තැන්පත් කිරීම සම්ප්‍රදාය වුවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සරල පෙට්ටියක තමන් තැන්පත් කරන ලෙස කල ඉල්ලීම අනුව ක්‍රියාකිරීමට වතිකානය මේ වනවිට පියවර ගෙන තිබේ. මහජන දර්ශනය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ උස් වේදිකාවක් මත දේහය තැබීමේ සම්ප්‍රදාය ද ඉවත් කරන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කර තිබේ.

ශ්වසන ආබාධයක් හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 14 වැනිදා ශුද්ධෝත්තම හිමිපාණන් රෝහල්ගත කෙරු ණි. උන්වහන්සේ යළි වතිකානයට පැමිණියේ, දින 38 ක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි.

වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ පැවති පාස්කු ඉරිදා දින දේව මෙහෙයට ශුද්ධෝත්තම හිමිපාණන් ඊයේ සහභාගී විය. එය, උන්වහන්සේ අවසන් වරට ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාවයි.

පාස්කු ඉරිදා දේව මෙහෙයට එක්වූ ශුද්ධෝත්තම හිමිපාණන් අවසන් වරට ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙසයි.

ශුද්ධෝත්තම පාප්වහන්සේ පෙරේදා ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී වෑන්ස්ද හමුවී තිබුණි.

නියුමෝනියා තත්ත්වයෙන් පීඩාවිද ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේට විවේක සුවයෙන් කාලය ගතකරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබාදී තිබුණි. නමුත් ශුද්ධෝත්තම පියතුමා රෝගී තත්ත්වයද නොතකා සිය මෙහෙවර වෙනුවෙන් පසුගිය දින කිහිපයේ වෙහෙස වුණි.

මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසුව නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට නියමිත ය. ඒ කාදිනල්වරුන් 135 දෙනෙකු පමණ සහභාගීව, වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේ සිස්ටයින් දේවස්ථානයේ පැවැත්වෙන රහස් ඡන්දයකින් ය.

විදෙස්

අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක් (UPDATE)

Published

on

By

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ.

දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනය කර ඇත.

දෙපාර්ශ්වයම ඔවුන්ගේ තීරුබදු 115% කින් අඩු කිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධය සඳහන් කළේය.


(පෙර පුවත 2025 මැයි 12 ප.ව.12.36 )

ලෝකයටම සුභ ආරංචියක් !

අමෙරිකාව හා චීනය අතර පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණ ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ.  

ස්විට්සර්ලන්තයේ දී මෙම සාකච්ඡා ආරම්භ කර බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.  

අමෙරිකාව නියෝජනය කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි වී ඇත.  

එසේම චීනය නියෝජනය කරමින් එරට ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන්ද සහභාගී වී තිබේ.

ස්විට්සර්ලන්තයේ පැවති දින දෙකක සාකච්ඡා අවසන් කිරීමෙන් පසු දෙපාර්ශ්වයම තොරතුරු නිකුත් කර නොතිබුණ බව විදෙස් මාධ්‍ය පවසා සිටියේය.

කෙසේ වෙතත් චීන උප අගමැති හේ ලයිෆෙන්ග් පවසා සිටියේ සඳුදා (12) ජිනීවාහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බවය.   එමෙන්ම චීන උප වාණිජ අමාත්‍ය ලී චෙංගැං පවසා ඇත්තේ “ලෝකයට ශුභාරංචියක්” එහි අඩංගු වනු ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් චීන නිලධාරීන් පවසා ඇත්තේ දෙපාර්ශ්වයම “වැදගත් එකඟතාවයකට” පැමිණ ඇති බවත් තවත් නව ආර්ථික සංවාද ආරම්භ කිරීමට එකඟ වූ බවත්ය.

එක්සත් ජනපද වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා “ගනුදෙනුවක්” ගැන කතා කළ බව අමෙරිකානු නිලධාරීන් පවසා ඇත.  

Continue Reading

විදෙස්

චෙස් ක්‍රීඩාවට තහනමක්

Published

on

By

ඇෆ්ගනිස්තානයේ චෙස් (චතුරංග) ක්‍රීඩාව සහ ඒ හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සඳහා තාලිබාන් රජය විසින් අනිශ්චිත කාලයකට තහනමක් පනවා ඇත.

මේ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසන්නේ, ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ චතුරංග ක්‍රීඩාව සූදුවේ ආකාරයක් ලෙස සැලකෙන බවය.

මෙය රටේ “යහපත ප්‍රවර්ධනය කිරීම සහ අයහපත වැළැක්වීමේ නීතිය” යටතේ තහනම් කර ඇති අතර, චතුරංග ක්‍රීඩාවට ආගමික විරෝධතා පවතින බවද ඔහු සඳහන් කර තිබේ.

“මෙම විරෝධතා විසඳෙන තුරු ඇෆ්ගනිස්තානයේ මෙම ක්‍රීඩාව තාවකාලිකව අත්හිටුවනු ඇත,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම තීරණය චතුරංග ලෝලීන් සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර අතර කලකිරීමක් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර තාලිබාන් රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩාවලට සහභාගී වීම තහනම් කෙරිණි.

Continue Reading

විදෙස්

බ්‍රිතාන්‍ය රජයෙන් දැඩි තීරණයක්

Published

on

By

බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණිකයන් සඳහා වීසා ප්‍රතිපත්ති දැඩි කිරීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැකියා වීසා යටතේ බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස සීමා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

නව ප්‍රතිපත්ති ඇතුළත් “ඉමිග්‍රේෂන් වයිට් පේපර්” නම් ලේඛනය අද (12) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුහුණු ශ්‍රමිකයින්ට වීසා ලබාදීමේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන සුදුසුකම්වලට වැඩි අවධානය යොමු කර ඇති අතර, නුපුහුණු ශ්‍රමිකයින් එරටට ගෙන්වීම සීමා කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.

එසේම, නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී යම් කාලසීමාවකට යටත්ව බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

විදෙස් ශ්‍රමිකයින් යොදවා ගන්නා කර්මාන්ත හඳුනාගෙන, එම කර්මාන්තවලට පමණක් ඔවුන් අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved