ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ 47 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම අද සිදු කෙරේ. පසුගිය වසරේ නොවැම්බරයේ පැවති ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඡන්ද විද්‍යාල 312ක බලය හිමිකර ගනිමින් ඔහු ජනපතිවරයා ලෙස තේරී පත්විය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමග ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා ලෙස ඔහු ඉතිහාසගත විය. 1946 ජූනි 14දා උපත ලැබූ ඔහු, මේ වන විට 78 වන වියේ පසුවෙයි. දෙවන ධුර කාලය අවසන් වන විට ඔහුගේ වයස අවුරුදු 83ක් වනු ඇත. හිටපු ජනාධිපති ජෝ බයිඩ්න් 2020 වසරේ ධුරයට පත් වන විට 77 වැනි වියේ පසු විය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උත්සවය පවතින ශීත අධික කාලගුණික තත්ත්වය හේතුවෙන් එක්සත් ජනපද කැපිටල් හි ගෘහස්ථව සිදුකිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා තමා උපදෙස් ලබා දුන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබිණි. එරට කාලගුණ ඒජන්සිය විසින් උෂ්ණත්වය දරුණු ලෙස අඩුවිය හැකි බවට කරන ලද පූර්ව අනතුරු ඇඟවීමකට අනුව ට්‍රම්ප් මේ බව සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් වැඩිදුරටත් කියා තිබුණේ කිසිම ආකාරයකින් මිනිසුන්ට රිදවීම හෝ තුවාල වීම දැකීමට තමාට අවශ්‍ය නොමැති බවයි. මීට පෙර 1985 දී රොනල්ඩ් රේගන් භාවිත කළ පරිදි මේ කටයුතු ගෘහස්ථව සිදු කෙරෙනු ඇත.
එරට වේලාවෙන් දහවල් 12.00 ට ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් මහතා ඉදිරියේ මෙම දිව්රුම් දීම සිදු කෙරේ. දිව්රුම් දීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය. ඉන් පසුව ජනාධිපති ට්‍රම්ප් මහතා නිල වශයෙන් ලේඛනයකට අත්සන් තබයි.
ජනාධිපතිවරයා දිවුරුම් දුන් පසුව ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ලෙස ජේ.ඩී. වාන්ස් මහතා ද දිව්රුම් දෙයි. වාන්ස් මහතා ඇමෙරිකාවේ 50 වැනි උප ජනාධිපතිවරයාය.
2015 වසරේදී ට්‍රම්ප් සිය දේශපාලන දිවිය ආරම්භ කළේ ට්‍රම්ප් කුලුනෙහි පැවති මාධ්‍ය හමුවකදී ධවල මන්දිරයට තරග කරන බව නිවේදනය කරමිනි. ඔහුගේ ආදර්ශ පාඨය වූයේ ‘ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම’ය.
මතභේදාත්මක අසීරු මැතිවරණ ව්‍යාපාරයකින් පසු ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරාජය කරමින් ට්‍රම්ප් 2017 වසරේදී ඇමෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. මේ අතර නව ජනපතිට එරෙහිව පසුගිය දිනවල වොෂින්ටන් නගරයේ උද්ඝෝෂණ ද පැවැත්විණි.