Connect with us

විදෙස්

ෂී – මැක්‍රොන් – උර්සුලා පැරිසියේදී හමුවෙයි

Published

on

මේ වන විට යුරෝපා සංචාරයක නිරත ව සිටින චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (මැයි 06) දිනයේදී පැරිසියේ එලිසී මාලිගයේදී ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගී විය.

මෙම සාකච්ඡාවට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සහ යුරෝපා කොමිසමේ සභාපතිනිය වන උර්සුලා වොන් ඩර් ලේන් (Ursula Von Der Leyen) මහත්මිය ද එක්විය.

මොවුන් හමුවීම පිළිබඳව සිය සතුට ප්‍රකාශ කර ඇති චීන ජනාධිපතිවරයා, මෙම ත්‍රෛපාර්ශ්වික හමුව, යුරෝපීය මට්ටමෙන් මෙම සංචාරයට වැඩි වැදගත්කමක් එක්කරන බවත් පවසා ඇත.

චීනය සැමවිටම යුරෝපා සංගමය සමඟ ඇති සබඳතාවලට ප්‍රවේශ වන්නේ මූලෝපායික හා දිගුකාලීන ඉදිරිදර්ශනයකින් වන බවත්, චීනය විසින්, සිය නවීකරණත්වය කරා යන මාවතේ වැදගත් හවුල්කරුවෙකු ලෙස යුරෝපය සලකන බවත් ෂී මහතා වැඩිදුරටත් මෙහිදී පවසා ඇත.

මේ අතර, X පණිවිඩයක් නිකුත් කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය පවසා ඇත්තේ වසරකට වඩා තරමක කාලයක් තුළ තෙවැනි වරටත් චීන ජනාධිපතිවරයාව හමුවූ බවත්, එය එකිනෙකා හා එකඟ විය හා එකඟ විය නොහැකි කරුණු පිළිබඳ විවෘත හා අවංක අදහස් හුවමාරු කරගැනීමක් වූ බවත්ය.

භූ දේශපාලනික ගැටළු, ආර්ථික සබඳතා හා දේශගුණික විපර්යාස ඇතුළු මාතෘකා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුනු බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගේ ආරාධනයකට අනුව, චීන ජනාධිපතිවරයා ඇතුළු ධූත පිරිස ඊයේ දිනයේ පැරිස් අගනුවරට ළඟාවිය. අද දිනයේදී ඔවුන්ව ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රොන් විසින් උත්සවාකරයෙන් පිළිගෙන තිබුණි.

මේ, 2024 වසර තුළ සිදුවන චීන ජනපතිවරයාගේ පළමු විදෙස් සංචාරය වන අතර, මෙය පස්වසරක කාලයක් තුළදී ඔහු ගේ දෙවැනි ප්‍රංශ සංචාරයයි. 

මෙම වසරේදී චීනය හා ප්‍රංශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් සැපිරීම තවත් විශේෂත්වයති.

මෙම සංචාරයෙන් පසුව චීන ජනපතිවරයා විසින් සර්බියාවේ හා හංගේරියාවේ ජනපතිවරුන් ගේ ආරාධනා මත එම රටවලද නිල සංචාර වල නිරත වීමට නියමිතය.

ඔහු සමග චීන ජනපති ආර්යාව වන පං ලීයුවැං මහත්මියද, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු වන ත්සයි චී මහතා හා චීන විදේශ ඇමති වන වාං යී මහතාද මෙම සංචාරයට එක්ව සිටියි.

විදෙස්

සිරකරු හුවමාරුවකට රුසියාව සහ යුක්‍රේනය එකඟවෙයි

Published

on

By

‘රුසියානු – යුක්‍රේන’ යුද්ධය ආරම්භ වී වසර තුනකට පසු දෙරටේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඊයේ (16) පළමුවරට තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී මුහුණට මුහුණ හමුවිය.

මෙම හමුව විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ, 1945 වසරෙන් පසු යුරෝපයේ ඇති වූ දරුණුතම යුද්ධයේ නිමාවක් පිළිබඳව යම් බලාපොරොත්තු දල්වන්නක් බවය.

කෙසේ වෙතත් තුර්කියේ දී සාම සාකච්ඡා පැවැත්වීමට යෝජනා කළ රුසියානු ජනාධිපති පුටින් ඊට එක්නොවුණි.

පුටින් සාකච්ඡා සඳහා නොපැමිණීමට විරෝධය පළ කිරීමක් වශයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද මෙම සාකච්ඡාවට එක් නොවූ බව වාර්තා වේ.

පැය දෙකකටත් අඩු කාලයක් පැවති මෙම සාකච්ඡාවේ අපේක්ෂා කළ පරිදි සටන් විරාමයක් හෝ සටන් නිමාකිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයම අපෙහොසත් වී ඇත. 

එහෙත් යුද සිරකරුවන් හුවමාරු කරගැනීමට දෙරටම එකඟ වී තිබේ.

ඒ අනුව දෙපාර්ශ්වයෙන් යුද සිරකරුවන් දහස බැගින් නිදහස් කෙරෙනු ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.

කෙසේ වෙතත් සිරකරු හුවමාරුව සිදුවන දිනයක් මේ වනවිට තීරණය කර ඇතත්, ඒ පිළිබඳව මෙතෙක් අනාවරණ කර නොමැත. 

සාකච්ඡාවල මීළඟ පියවර දෙරටේ ජනාධිපතිවරුන් අතර සිදුවිය යුතු බව යුක්රේනයේ මතය වී ඇත.

එමෙන්ම සාකච්ඡා සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත්, සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත් රුසියානු පාර්ශ්වය පවසා තිබේ.

කෙසේ වුවද ඇතැම් පාර්ශ්ව මත පළකරන්නේ මෙය නව යුරෝපා සම්බාධක පැනවීමටකට යටත් නොවී සිටීමට රුසියාව ගන්නා උත්සාහයක් පමණක් විය හැකි බවය.

මෙවන් පසුබිමක දෙරට අතර, ස්ථිරසාර සාමයක් උදාකිරීමට තමන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හමුවීම අත්‍යවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසා තිබේ.

Continue Reading

විදෙස්

ඉන්දියා – පාකිස්ථාන සටන් විරාමය මැයි 18 දක්වා

Published

on

By

ඉන්දියාව සහ පකිස්ථානය අතර සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සඳහන් කරන්නේ දෙරටේ හමුදා භටයන් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළ බවත්, දේශපාලන සංවාදයක් සමග ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවය.

මේ අතර ‘සින්දූර්’ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාවේ ආරක්ෂක අයවැයට රුපියල් කෝටි 50,000 ක වැඩිවීමක් විය හැකි බව රජයේ වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ යළි ඉන්දියාව හා පාකිස්ථානය අතර යුදමය තත්ත්වයක් ඇතිවූ අතර, පසුව දින කිහිපයක් පැවති අවි ගැටුම් නතර කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර තිබුණි.

Continue Reading

විදෙස්

සාම සාකච්ඡාවලට නො එන බව  පුටින්   පවසයි

Published

on

By

තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි.

එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය කළේ, සාම සාකච්ඡා සඳහා සහභාගී වීමට ලැයිස්තුගත කර ඇති නම් අතර රුසියානු ජනාධිපති පුටින් නැති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම රැස්වීමට එක්වීමට නියමිතව තිබුණි.

මේ වනවිට කටාර්හි රැඳී සිටින ඔහු පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන්නේ නම් තමා ද  එයට සහභාගී නොවන බවයි.

2019 දෙසැම්බර් මාසයේ සිට රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් පෞද්ගලිකව හමු වී නොමැත.

දෙරට අතර අවසන් වරට සෘජු සාකච්ඡා පැවැත්වූයේ 2022 මාර්තු මාසයේදී ඉස්තාන්බුල්හිදී යි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved