පාපන්දු  දූෂණ හෙළි කළ මාධ්‍යවේදියා මරාදමයි ඡායාරූප අනුග්‍රහය : citinewsroom.com
Jan 22, 2019

පාපන්දු දූෂණ හෙළි කළ මාධ්‍යවේදියා මරාදමයි

ඝානාවේ පාපන්දු සංගමයේ අතිදැවැන්ත දූෂණ වංචාවක් හෙළිකළ මාධ්‍යවේදියෙකු වෙඩිතබා මරා දමා තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙලෙස මරාදමා ඇත්තේ අහමඩ් හුසේන්-සුවාලේ නම් මාධ්‍යවේදියෙකි.

අක්‍රා අගනුවර මදීනා ප්‍රදේශයේ පිහිටි අහමඩ් ගේ නිවෙස ආසන්නේදී ඔහුගේ මෝටර් රථය වෙතට පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩිතබා ඇත.

සිය පපු ප්‍රදේශයට හා ගෙළ ප්‍රදේශයට වෙඩි වැදීමෙන් අහමඩ් එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඔහු සේවය කළ Tiger Eye PI සංවිධානයේ නීතිඥයෙකු සී.එන්.එන්. පුවත් සේවයට පවසා තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඝානාවේ ජනපතිවරයා පවසා ඇත්තේ සාපරාධී ක්‍රියාවක් වන මෙම ඝාතනය තමා හෙළා දකින බවයි. මෙම වරදකරුවන් හැකි ඉක්මනින් නීතිය හමුවට ගෙන ඒමට පොලිසියට හැකිවේ යැයි තමා බලාපොරොත්තු වන බවද එහි දැක්වේ.

කෙසේවෙතත්, සී.එන්.එන්. පුවත් සේවය සඳහන් කර ඇත්තේ ඝානා පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් ලබාදුන් දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර දක්වා නැති බවයි.

ඝානාවේ පාපන්දු සංගමයේ අතිදැවැන්ත දූෂණ වංචාවක් හෙළි කිරීමෙන් පසුව අහමඩ් හට මරණ තර්ජන එල්ල වූ බව නිවේදනයක් නිකුත් කරන Tiger Eye PI සංවිධානය පවසයි. මෙම හෙළිදරව්වෙන් පසුව ඝානාවේ පාපන්දු සංගමයේ ප්‍රධානියා ද ඉල්ලා අස්විය.

Tiger Eye PI සංවිධානයේ නීතිඥවරයා වැඩිදුරටත් සී.එන්.එන්. පුවත් සේවයට පවසා ඇත්තේ රහසිගතව සිදුකළ මෙම වාර්තාකරණයේ වාර්තාකරු ගේ අන්‍යන්‍යතාවය පිළිබඳව ඝානා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් සජීව රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවක් අතරතුරේදී හෙළිකිරීමෙන් පසුව අහමඩ් හට මරණ තර්ජන එල්ල වීමට පටන් ගත් බවයි.

කෙනඩි ආග්‍යාපොං නම් මෙම මන්ත්‍රීවරයා විසින් අහමඩ් ගේ ඡායාරූප පෙන්වා, ඔහු වාසය කරන ප්‍රදේශය හෙළිදරව් කරමින්, ඔහුට ප්‍රහාරයක් එල්ල කරන ලෙස අනුබල දී තිබුණි. අහමඩ් හට ප්‍රහාරයක් එල්ල කරන පුද්ගලයෙකුට මුදල් ගෙවීමට තමා ඉදිරිපත් වන බවද ඔහු මෙහිදී පවසා ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් Tiger Eye PI සංවිධානයේ නීතිඥවරයා පවසා ඇත්තේ මෙම සම්මුඛ සාකච්ඡාව විකාශය වීමත් සමග ඒ පිළිබඳව පැමිණිළි කළ බවත්, ඉහත මන්ත්‍රීවරයා විසින් තරුණ ජීවිතයක් අනතුරේ හෙළීමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවූ බවත්, දැන් ඒ පිළිබඳව මන්ත්‍රීවරයා හට පිළිතුරු බැඳීමට සිදුවන බවත්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top