Feb 01, 2019

"මායාකාරියන්" යැයි කියා මවක් සහ දරුවන් මරලා!

"මායාකාරියන්" යැයි පවසමින් කාන්තාවක් සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මරා දැමීමට සම්බන්ධ සැකකරුවන් සොයා ඉන්දීය පොලිසිය මෙහෙයුමක් දියත් කර තිබේ.

මේ වන විට සැකපිට ඔරිස්සා ප්‍රාන්තයෙන් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට තවත් පුද්ගලයන් සම්බන්ධ යැයි පොලිසිය විශ්වාස කරයි.

ජනවාරි 26 වෙනි දින මන්ග්‍රී මුන්දා සහ ඇයගේ දරුවන් සිව් දෙනාගේ මළ සිරුරු ඔවුන්ගේ නිවස ආසන්නයේ ළිඳක තිබී සොයා ගෙන තිබිණි.

"මායාකාරියන්" යැයි පවසමින් කාන්තාවන් ඝාතනය කිරීම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.

අපරාධයේ ප්‍රධාන සැකකරු තමන් "මායාකරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරයෙකු" ලෙස හඳුන්වා දුන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියක් වන කවිතා ජලන් බීබීසී වෙත පැවසීය.

සුන්දර්ගා දිස්ත්‍රික්කයේ වාර්ගික ජන කොට්ඨාස වෙසෙන ගම්මානයක විසූ මන්ග්‍රී මුන්දා සහ ඇයගේ දරුවන් ගම්මානයේ ජීවත් වන සෙසු පවුල්වලට "ශාප කරන බවට" ප්‍රධාන සැකකරු චෝදනා කරයි.

මන්ග්‍රී මුන්දා සහ වයස අවුරුදු දොළහක්, හතක්, හතරක් සහ අවුරුද්දක් වයසැති ඇයගේ පුතුන් සහ දියණියන් ජනවාරි 25 වෙනිදා රාත්‍රියේ සිය නිවසේ නිදා සිටින විට බලහත්කාරයෙන් එහි කඩා වැදුණු පිරිසක් ඔවුන්ට පොලු මුගුරුවලින් සහ පොරොවකින් පහර දී අසල ළිඳකට දමා තිබේ.

ඉන්දියාවේ නොයෙකුත් ජන කොට්ඨාසවලට අයත් පිරිස් අතර ඇතැම් කාන්තාවන් "මායාකාරියන්" ලෙස බහුලව හැඳින්වේ.

අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් ද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

"මෙවැනි මිත්‍යා විශ්වාස මත පදනම් වූ ක්‍රියාකාරකම් ගැන ගම්වාසීන් දැනුවත් කිරීම වැදගත්" යැයි කවිතා ජලන් සඳහන් කළාය.

"මායාකාරියන් දඩයම" තහනම් කරමින් පනතක් ක්‍රියාත්මක වුවත්, ඔරිස්සා ප්‍රාන්තයේ මෙවැනි අපරාධවල වැඩිවීමක් දක්නට ලැබේ.

මායාකාරියන් ලෙස හඳුන්වා එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ වරදට පසුගිය වසරේදී පුද්ගලයන් නව දෙනෙකු මරණ දණ්ඩනයට යටත් කරනු ලැබිණි.

ඇසෑම් සහ ජර්ඛන්ද් ප්‍රාන්තවලින් ද මෙවැනි අපරාධ පිළිබඳ නිරන්තරයෙන් අසන්නට ලැබේ.

2017 වසරේදී "මායාකාරියන් දඩයමට" සම්බන්ධ පැමිණිලි 99ක් ඔරිස්සා ප්‍රාන්තයෙන් වාර්තා වූ බව පොලිස් වාර්තාවල දැක්වේ. නමුත් 2016 වසරේ වාර්තා වී ඇත්තේ එවැනි පැමිණිලි 83ක් පමණි.

අපරාධ පිටුපස බොහෝ විට ඇත්තේ මිත්‍යා විශ්වාස වුවද, ඇතැම් අවස්ථාවලදී ඉඩම් සහ දේපල ලබා ගැනීමේ යටි අරමුණින් වැන්දඹු ස්ත්‍රීන්ට ප්‍රහාර එල්ල කරන බව බලධාරීහු පවසති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top