චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ (National People's Congress) 13 වැනි සමුළුවේ සමාරම්භක සැසිවාරය අමතන චීන අගමැති ලී ක්‍යාචං මහතා (ඡායාරූපය : Xinhua/Pang Xinglei) චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ (National People's Congress) 13 වැනි සමුළුවේ සමාරම්භක සැසිවාරය අමතන චීන අගමැති ලී ක්‍යාචං මහතා (ඡායාරූපය : Xinhua/Pang Xinglei)
Mar 05, 2019

චීනය, යුවාන් ට්‍රිලියන 02ක බදු කපන්න යයි!

ඉදිරියේදී අසීරු ආර්ථික සටනකට මුහුණදීමට ඇති බවට චීන අගමැති ලී ක්‍යාචං මහතා අද (05) දිනයේදී අනතුරු ඇඟවීය.

බීජිං අගනුවරදී අද ඇරඹුනු, චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ (National People's Congress) 13 වැනි සමුළුවේ සමාරම්භක සැසිවාරය අමතමින් ඔහු මේ බව පවසා සිටියේය. මෙම අවස්ථාවට චීන ජනපති - ෂි ජින්පින් මහතා ඇතුළු චීන ව්‍යවස්ථාදයකයේ ඉහළ නිලධාරීන් ද නියෝජ්‍ය නියෝජිතයන් 3,000කට ආසන්න පිරිසක් ද සහභාගී විය.

වසර 2019 සඳහා සම්මත කරගැනීමට නියමිත යෝජනා ඉදිරිපත් කරමින් ක්‍යාචං මහතා ප්‍රකාශ කර සිටියේ යුවාන් ට්‍රිලියන 02ක බදු කප්පාදුවක් සිදුකිරීමට නියමිත බවයි. නිෂ්පාදන, ප්‍රවාහන හා ගොඩනැගිලි ක්ෂේත්‍ර නගාසිටුවීමට VAT බදු ද අඩුකිරීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරුණි.

මේ අතර, චීන අග්‍රාමාත්‍යවරයා විසින් 2019 වසර සඳහා ඉලක්කගත වර්ධක වේගය 6.0% - 6.5% අතර බව ප්‍රකාශ කළ අතර, මෙය දශක තුනක කාලයක් තුළදී චීනය විසින් ප්‍රකාශයට පත්කළ අඩුම ඉලක්කගත වර්ධක වේගය ලෙස සැලකේ.

තවද, චීන - ඇමෙරිකානු වෙළඳ ගණුදෙනු ඉදිරියේදී ද ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, නිදහස් වෙළඳාම හා ආර්ථික ගෝලීකරණය ශක්තිමත් කිරීමට ද චීනය විසින් ඇපකැප වී කටයුතු කරන බව අද දිනයේ පළ කර තිබුණු රජයේ වැඩ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

චීනයේ ප්‍රධාන දේශපාලන ආයතන දෙකක් වන චීන මහජන දේශපාලන උපදේශක සම්මේලනය (CPPCC) සහ චීනයේ ව්‍යවස්ථාදායකය වන - ජාතික මහජන කොන්ග්රසය (NPC) වාර්ෂිකව පැවැත්වෙන මෙම රැස්වීම් "ද්විත්ව සැසි” (Two Sessions) ලෙස හැඳින්වෙන අතර, මෙය, වසර තුළ චීනයේ විශාලතම දේශපාලන සිදුවීම ලෙස සැලකේ.

(සටහන - ශානිකා ජයසේකර බීජිං සිට)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top