Mar 15, 2019

නවසීලන්තයේ අඳුරුම දවස අදයි

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවි ගලවාගෙන ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයකු වන ජලාල් යූනුස් මහතා කීවේ සිකුරාදා යාඥාව සඳහා බංග්ලාදේශ ක්‍රීඩකයන් දේවස්ථානය ඇතුළට යාමට සූදානම් වීමත් සමගම වෙඩි තැබීම සිදුවූ බවයි.

“ඔවුන්ට හානියක් නෑ. ඒත් ඔවුන් මානසිකව මහත් කම්පනයට පත්වෙලයි ඉන්නේ. විශ්වාසයෙන් යුතුව තමන් නැවතී සිටින හෝටලයට වෙලා ඉන්න කියලා අපි ඔවුන්ට කිව්වා” යයි ජලාල් යූනුස් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

“වෙඩි තැබීමේදී කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් බේරුණා. ඒත් හරිම භයංකාර අත්දැකීමක්. කරුණාකර ඔබ යාඥා කරද්දී අපවත් සිහිකරන්න” යයි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ටමීම් ඉක්බාල් ට්විටර් පණිවුඩයක් තබා තිබිණ.

නවසීලන්තයේ මාධ්‍ය වාර්තා කරන පරිදි සිද්ධියෙන් කිහිපදෙනකුම මියගොස් තිබේ.

“ක‍්‍රයිස්ට්චර්ච් පල්ලියේදී අද සිදුවූ වෙඩි තැබීමෙන් අල්ලා දෙවිඳුන් අපව බේරා ගත්තා...අපි ඉතාමත් වාසනාවන්තයි..මේ වගේ දෙයක් නම් ආයෙ කවදාවත් දකින්න ලැබෙන්න එපා” යයි කණ්ඩායමේ හිටපු නායක මුෂ්ෆිකුර් රහීම් කියයි.

“වෙඩි තබන්නන්ගෙන් යන්තමින් ගැලවුණා. හදවත ගැහෙන වේගය පාලනය කරගන්න බෑ..හැම තැනම මහ කලබලයක්” යයි කණ්ඩායමේ උසස් දස්කම් විශ්ලේශක ශ්‍රීනිවාස් චන්ද්‍රසේකරන් කීවේය.

බංග්ලාදේශ කී‍්‍රඩකයන් අල් නූර් දේවස්ථානය අසළට ළඟා වූ විගසම පල්ලිය ඇතුළේ වෙඩි තැබීමක් සිදුවෙන බව කිසිවකු විසින් කී‍්‍රඩකයන්ට දැනුම් දී තිබේ. ඒ සැණින්ම නැවතත් බංග්ලාදේශ බසයට ඇතුළු වූ ක්‍රීඩකයෝ බසයේ බිම දිගා වූහ.

මෙම වෙඩි තැබීම නිසා නවසීලන්තය සහ බංග්ලාදේශය අතර සෙනසුරාදා (16) ආරම්භ වීමට නියමිතව තිබූ තුන්වැනි ටෙස්ට් තරගය අවලංගු කර දමා තිබේ.

‘සංවේගජනක වීඩියෝව සඟවන්න’යි නවසීලන්ත පොලිසියෙන් ඉල්ලීමක්

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි මුස්ලිම් දේවස්ථාන දෙකක සිදු වූ මාරාන්තික වෙඩි තැබීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව එරට පොලිසිය ප්‍රකාශ කරයි.

එම වීඩියෝ පටය අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හෝ ප්‍රසිද්ධියට පත් නොකරන්නැයි ද නවසීලන්ත පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා ඇත.

“ක්‍රයිස්ට්චර්ච් සිදුවීමට සම්බන්ධ “ඉතාමත් ඛේදජනක සහ සංවේගජනක” වීඩියෝපටයක් තිබෙන බව අපට දැනගන්නට ලැබී තිබේ. එම වීඩියෝපටය අන්තර්ජාලයට නිකුත් වී ඇති බව ද දැනගන්නට ලැබී තිබේ” යැයි නවසීලන්ත පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකු-ත් කරමින් සඳහන් කර ඇත.

“එම වීඩියෝ පටය තවදුරටත් ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස අපි ඉතාමත් වුවමනාවෙන් ඉල්ලා සිටිනවා. එම වීඩියෝපටය අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට අපි පියවර ගනිමින් සිටිනවා” යැයි ද එහි තවදුරටත් දැක්විණි.

නවසීලන්තයට අඳුරුම දවසක්

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බව අගමැතිනී යසින්ඩා ආර්ඩ්න් ප්‍රකාශ කළාය.

වෙඩි තැබීම් සිදුවූ මුස්ලිම් දේවස්ථාන සියල්ල ආරක්ෂක අංශ විසින් වටලා ඇති අතර, එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇය සඳහන් කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top