Apr 25, 2019

චීනයේ BRI සමුළුව අද සිට ඇරඹේ

ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා වූ 'බෙල්ට් ඇන්ඩ් රෝඩ්' (BRI) සමුළුව අද (25) සිට චීනයේ බීජිං අගනුවරදී ආරම්භ වේ.

මෙහිදී විවිධ මාතෘකා යටතේ අනු සමුළු 12ක් ද පැවැත්වීමට නියමිත වන අතර, මෙම සමස්ථ සමුළුව සඳහා රටවල් 40ක රාජ්‍ය නායකයන් ඇතුළු රටවල් සියයකට වැඩි ප්‍රමාණයක නියෝජිතයන් එක්වීමට නියමිතය.

ප්‍රධාන විධායක නිලධාරීන් ගේ සමුළුව ඇතුළු තේමා මත පදනම් වූ සමුළු අද දිනයේදී පැවැත්වෙන අතර, මෙහි සමාරම්භක උත්සවය හෙට දිනයේදී රාජ්‍ය නායක නායිකාවන් ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇත.

මාධ්‍යවේදීන් 4,000කට වැඩි පිරිසක්

මේ අතර, මෙම සමුළුව වාර්තාකිරීමට විදෙස් මාධ්‍යවේදීන් 1,600ක් ඇතුළු මාධ්‍යවේදීන් 4,000කට වැඩි පිරිසක් ලියාපදිංචි වී ඇති බව ෂින්හුවා පුවත් සේවය සඳහන් කරයි.

මෙම මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ මාධ්‍ය මාධ්‍යස්ථානයක් ද පෙරේදා දින විවෘත වූ අතර, වර්ග මීටර 2,200කට වඩා විශාල මෙම මධ්‍යස්ථානයේදී මාධ්‍යවේදීන් හට 5G අන්තර්ජාල පහසුකම් ද අත්විඳිය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

වැදගත් අවස්ථාවක්

මේ අතර, චීනය - ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාවයේ වැදගත්කම පිළබඳව මේ වසර මුලදී චීන මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් චීනයේ සිටින ශ්‍රී ලාංකික තානාපති - කරුණාසේන කොඩිතුවක්කු මහතා පවසා තිබුණි.

'චයිනා ඩේලි' පුවත් සේවය වෙත අදහස් දක්වමින් එම මහතා පවසා තිබුණේ 'බෙල්ට් ඇන්ඩ් රෝඩ්' ක්‍රියාවලිය සිය සංවර්ධනය සඳහා වැදගත් අවස්ථාවක් උදාකරදී ඇතිබවට ශ්‍රී ලංකාව සලකන බවයි.

චීනයේ සිට ආසියාව හා යුරෝපය කරා වැටුණු පුරාණ වෙළෙඳ මාර්ග නවීකරණය කිරීම සඳහා වත්මන් චීන ජනාධිපති ෂි ජින්පින් විසින් ආරම්භ කරන ලද 'බෙල්ට් ඇන්ඩ් රෝඩ්'ව්‍යාපෘතිය සමග මේ දක්වා රටවල් 124ක් හා ජාත්‍යන්තර සංවිධාන 29ක් එක්ව සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top