Aug 09, 2019

කසාද සහතිකේත් ඩිජිටල් වෙයි!

චීනයේ ක්ෂණික ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් වන අලීපේ (Alipay)සේවය විසින් පළාත් මට්ටමේ පරිපාලන ප්‍රදේශ පහක් තුළ විද්‍යුත් විවාහ සහතික (e-certificate) ලබා දීමේ සේවාවක් දියත් කර තිබේ.

නැගෙනහිර චීනයේ ෆුජියාන්, ජියැන්ග්සි, ජියැන්ග්සු සහ ජේජියැන්ග් පළාත්වල මෙන්ම නිරිතදිග චීනයේ චොංචිං මහ නගර සභාවට අයත් අලීපේ පාරිභෝගිකයන් හට පළාත් පාලන ආයතනවල කුඩා වැඩසටහන් පිළිබඳ විද්‍යුත් සහතික සඳහා අයදුම් කළ හැකි වේ.

විවාහය ලියාපදිංචි කිරීම සඳහා වේලාවක් වෙන් කරගැනීම හෝ විවාහයක තොරතුරු සත්‍යාපනය කිරීම වැනි සේවා ද මෙම කුඩා වැඩසටහන් මගින් ලබාදේ.

විවාහ සහතිකය යනු චීනයේ බොහෝ කාර්යයන් හා බැඳුනු වලංගු නීතිමය ලියවිල්ලකි. විවාහයක නීත්‍යානුකූලභාවය සනාථ කිරීමට අමතරව, නිවාස මිලදී ගැනීමේ ණය, උපත් ලියාපදිංචි කිරීම්, දේපල පැවරීම් සහ දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා ද මෙම සහතිකය යොදා ගනී.

මෙවැනි වැදගත් කාර්යයන් සඳහා යාමේදී විවාහ සහතිකය රැගෙන යාමට ඇතැමුන් හට අමතක වන බැවින් එහි ඩිජිටල් අනුවාදය පහසු විකල්පයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිය පාරිභෝගිකයන් හට විද්‍යුත් සහතිකපත් ලබාදීම සම්බන්ධයෙන් අලීපේ සේවය වසර ගණනාවක් පුරාවට චීනයේ පළාත් පාලන ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. සමාගමේ දත්ත වලට අනුව විද්‍යුත් සමාජ ආරක්ෂණ කාඩ්පත්, රියදුරු බලපත්‍ර සහ ශිෂ්‍ය හැඳුනුම්පත් ඇතුළු සහතික වර්ග 90 කට අධික ප්‍රමාණයක විද්‍යුත් සහතික සඳහා අලීපේ පාරිභෝගිකයන් හට ඉල්ලුම් කළ හැකිය.

(xinhua.com)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top