Aug 09, 2019

"විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට හිස නමා හොංකොං අර්බුදය විසඳන්න බෑ"

හොංකොං හි දිගින් දිගටම පවතින විරෝධතා, එහි කටයුතු අධීක්‍ෂණය කරන බීජිං හි ඉහළම නිලධාරියා විසින් දැඩි ලෙස විවේචනයට ලක්කර ඇත.

රාජ්‍ය මණ්ඩලයේ හොංකොං සහ මැකාව් හි කටයුතු පිළිබඳ කාර්යාලයේ (HKMAO) අධ්‍යක්ෂක - ජෑං ෂඕමිං පවසා ඇත්තේ හොංකොං චීන ස්වෛරීභාවයට භාර දීමෙන් පසු ඇති වූ දරුණුතම අර්බුදය වන මෙම තත්ත්වය, විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට හිස නැමීමෙන් විසඳිය නොහැකි බවයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ෂෙන්ජන් නගරයේ පැවති රැස්වීමකදී අමතමිනි.

මතභේදාත්මක පිටුවහල් කිරීමේ පනත හේතුකොට ගෙන ඇරඹුනු මෙම විරෝධතා ඔස්සේ ඇති වන ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම පිළිබඳව මෙහිදී අවධාරණය කර තිබේ.

"මේ වන විට පවතින වැදගත්ම කාර්ය වන්නේ, අප මව්බිම ආරක්ෂා කර ගැනීම සහ හොංකොං අගාධයකට ඇද වැටීම වැළැක්වීම සඳහා ප්‍රචණ්ඩත්වය හා ව්‍යාකූලත්වය අවසන් කර නිසි පිළිවෙලක්, ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම," යැයි ඔහු පවසා ඇත.

නගරය පුරාවට සිදුකෙරුනු ඉල්ලීම් වලට ප්‍රතිචාර වශයෙන් හොංකොං රජය විසින් සමස්ත පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීමේ හැකියාව ඔහු විසින් විවෘතව තැබූ නමුත්, එම හැකියාව පවතින්නේ විරෝධතා අවසන් වීමෙන් පසුව පමණක් බව මෙහිදී සඳහන් වී තිබේ.

මේ අතර, හොංකොං කතෝලිකයන් සිය ගණනක් නගරයේ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය හරහා පාගමනක් පවත්වා තිබේ. මතභේදාත්මක පිටුවහල් කිරීමේ පනත සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම, දේශපාලන අර්බුදය හේතුවෙන් ඇති වූ ගැටුම් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම පාගමන පවත්වා තිබේ.

කෙසේවෙතත්, පවතින විරෝධතා හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතුවලට ඇතිව තිබෙන සෘජු හා වක්‍ර බලපෑම පිළිබඳව කැතේ පැසිෆික් ගුවන් සමාගම ඇතුළු හොංකොං සමාගම් කිහිපයක්ම සිය කනස්සල්ල පළ කර ඇත.

(චැනල් නිවුස් ඒෂියා, සවුත් චයිනා මෝනින් පෝස්ට් ඇසුරෙනි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top