Nov 05, 2019

"ලංකාවේ ලොකුම නිල සංවර්ධන හවුල්කරුවා, චීනයයි" Featured

"ලොව ආර්ථික සංවර්ධන ගැටලුව විසඳීම කිසිම රටකට තනිවම කළ නොහැකක් බවත්, මානව සංහතියේ ප්‍රමුඛතාවයන් සිය අභිලාෂයන්ට ඉහළින් තැබිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.
නොවැම්බර් 10දා දක්වා ෂැංහායි නුවරදී පැවත්වෙන 2වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) විවෘත කරමින් අද (05) පෙරවරුවේදී චීන ජනපතිවරයා මේ බව පැවසීය.

විවෘත හා සහයෝගීතාවෙයෙන් යුත් ලෝක ආර්ථිකයක් ගොඩනැගීම පිළිබඳව සඳහන් කරමින් ඔහු සඳහන් කර සිටියේ, ගැටුම් හා විරෝධතා ඇතිවීම සාමාන්‍ය කරුණක් බවත්, එවැනි අවස්ථා හමුවේ නිවැරදි මාර්ගය වන්නේ උපදේශනය සහ සහයෝගීතාවය බවයි.

"අප එකිනෙකාට සමානව සලකන තාක් කල්, එකිනෙකා තේරුම් ගෙන එකිනෙකාට යටහත්පහත් ලෙස සිටින තාක් කල් නොවිසඳිය හැකි කිසිදු ගැටළුවක් නැත," යැයි ඔහු සඳහන් කළේය.

සංවර්ධනය සඳහා විවෘත වීම, හුවමාරුව හා සහයෝගීතාවය වර්ධනය කිරීම,එකිනෙකාගෙන් දෑත් ගිලිහී යාම වෙනුවට අත්වැල් බැඳගැනීම, පවුරු බැඳීම වෙනුවට පවුරු බිඳීම ද සිදුකළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

"නව යුගයක්, හවුල් අනාගතයක්" යන තේමාව යටතේ පැවැත්වෙන CIIE ප්‍රදර්ශනය මීටර් 360,000 ක ප්‍රදර්ශන භූමියක් පුරා රටවල් ගණනාවක සහභාගීත්වෙන් පැවැත්වේ.

ලංකාව දෙවැනි වරටත් CIIE හා එක්වේ
පසුගිය වසරේදී සාර්ථක ලෙස CIIE ප්‍රදර්ශනයට සහභාගී වීමෙන් අනතුරුව මෙවරද ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශනයට එක්වේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හා ෂැංහායි හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ මණ්ඩපය කටයුතු සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් සිදුවන මෙරට මණ්ඩපයට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි රජයේ පාර්ශව ද එක්ව සිටියි. 
 
විශාල ඉල්ලුමක්
මේ පිළිබඳව චීනයේ CGTN රූපවාහිනී නාලිකාව සමඟ අදහස් දක්වමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු අමාත්‍ය ඇලෙක්සි ගුණසේකර මහතා පැවසුවේ පසුගිය වසරේ CIIE ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වීම අතිශයින්ම වාසිදායක වූ බවත්, එමගින් මෙම ප්‍රදර්ශනය පිළිබඳව ලාංකීය පාර්ශව අතර උනන්දුව ඉහළ යාමට හේතු වූ බවත්ය.

"අපට බොහෝ විමසීම් හා ඉතා සතුටුදායක ප්‍රතිඵල ලැබුණු අතර දෙවැනි වරටත් සහභාගී වන ලෙස අප විසින් අපනයනකරුවන් හට දැනුම් දීම් සිදුකළ විට ඊට විශාල ඉල්ලුමක් ඇති විය. මිනිසුන් හට මෙම ප්‍රදර්ශනය කෙරෙහි විශ්වාසයක් ඇතිවී තිබෙන බවත්, සාකච්ඡා කිරීමට, ව්‍යාපාර වල නිරත වීමට සුදුසු පුද්ගලයින් සොයාගෙන ඇති බවත් මෙයින් පෙනී යන බවත්" ඔහු සඳහන් කරයි.

ලංකාවේ විශාලතම නිල සංවර්ධන හවුල්කරුවා
චීන - ශ්‍රී ලංකා වෙළඳ හා ආර්ථික සම්බන්ධතාවල දැවැන්ත දියුණුවක් ඇතිව තිබෙන බව ගුණසේකර මහතා සඳහන් කළේය. "මෙය මා, චීනයේ සිටින දෙවන වාරයයි. වසර 2007 දී මා පළමු වරට චීනයට පැමිණෙන විට, චීනයට ශ්‍රී ලංකාවෙන් සිදුකළ අපනයන වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 37 ක් පමණි. වසර 12 කට පසු දැන් එම අපනයන වටිනාකම මිලියන 240 කට ආසන්න," යැයි ඔහු පැවසීය.

"ශ්‍රී ලංකාවට චීන ආධාර ප්‍රමාණය බැලුවහොත් එය බිලියන 10 කට වඩා අධිකයි... චීනය ශ්‍රී ලංකාවේ විශාලතම නිල සංවර්ධන හවුල්කරුවා බවට තිබෙනවා," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

- ශානිකා ජයසේකර ෂැංහායි සිට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top