Nov 05, 2019

නවදිල්ලි වායුදූෂණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය, බලධාරීන්ට දෙහිකපයි

නවදිල්ලි අගනුවර වාතාශ්‍රයේ පවතින විෂ දුමාරය මැඩලීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි දෝෂදර්ෂනයට ලක්ව තිබේ.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා සිටින්නේ පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමේ දැඩි ක්‍රියාමාර්ගවලට වඩා තේරුමක් රහිත ක්‍රියා සම්බන්ධයෙන් බලධාරීන් වැඩි අවධානය යොමුකර ඇති බවයි.

PM2.5 ලෙස හැඳින්වෙන වාතාශ්‍රයේ ඇති භයානක අංශුවල මට්ටම, නවදිල්ලි අගනුවර තුළ, ආරක්ෂිත සීමාවන් මෙන් 10 ගුණයකට වඩා වැඩි බව සනාථ වී තිබේ.

මීට ප්‍රතිචාර වශයෙන් දිල්ලි බලධාරීන් විසින් දිල්ලි අගනුවරට ඇතුළුවන වාහන ප්‍රමාණය සීමා කර තිබේ. 
 
නොවැම්බර් 4 සිට 15 දක්වා කාලය තුළ ඔත්තේ හෝ ඉරට්ටේ අංක තහඩු සහිත මෝටර් රථ සඳහා අවසර දෙනු ලබන්නේ විකල්ප දිනවල පමණි. ඔත්තේ - ඉරට්ටේ ක්‍රමවේදය යනුවෙන් හැඳින්වෙන මෙම සැලසුම මගින් රථවාහන දසදහස් ගණනක් නගරයට ඇතුළුවීම වැළැක්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම නීති කඩකරන්නන් හට ඉන්දීය රුපියල් 4,000ක් දඩමුදලක් ගෙවීමට සිදුවනු ඇත.
 
නවදිල්ලි අගනුවර වෙසෙන මිලියන ගණනක් හට ශ්වසන රෝග ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ගෘහස්ථව රැඳී සිටිමින් ශාරීරික ක්‍රියාකාරකම් වලින් වළකින ලෙස සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබේ. අඟහරුවාදා දක්වා පාසල් වසා ඇති අතර නගරය දැඩි දුමාරයකින් වැසී ඇති බැවින් බොහෝ විට පාසැල් සිකුරාදා දක්වා වසාදැමෙනු ඇතැයි පැවසේ. 
 
කෙසේවෙතත්, ඇතැමුන් විශ්වාස කරන්නේ දිල්ලියේ දැඩි වායු දූෂණයට ප්‍රධාන හේතුව මෝටර් රථ පමණක්ම නොවන බවයි. අසල්වැසි ප්‍රාන්තවල ගොවීන් විසින් හේන් ගිනි තබා ශුද්ධ කිරීම ද මීට ප්‍රබල හේතුවක් බව විශේෂඥයන් පෙන්වා දෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top