Dec 17, 2019

ලෝකය පාලනයට වඩාත් සුදුසු කාන්තාවන් - ඔබාමා

ලෝකයේ සෑම රටක්ම කාන්තාවන් විසින් පාලනය කරනු ලබන්නේ නම්, එමගින් උසස් ප්‍රතිඵල ලැබෙන අතර ජනතාවගේ ජීවන තත්වයේ පොදු වර්ධනයක් සිදුවනු ඇතැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා පවසයි.

සිංගපූර්හි දී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා, කාන්තාවන් සර්වතෝභද්‍ර නොවන නමුත් පුරුෂ පක්‍ෂයට සාපේක්‍ෂව ඔවුන් වඩාත් යහපත් යයි කියා සිටියේය.

ලෝකයේ බොහෝ ප්‍රශ්නවලට හේතුව, වැඩි දෙනෙක් මහල්ලන් වන පුරුෂයන් විසින් පාලන බලය අල්ලා ගෙන සිටීම බවත් හිටපු ඇමෙරිකානු නායකයා පෙන්වා දෙයි.

සාවද්‍ය අදහස් ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍ය ජාලය උපයෝගී කර ගනු ලැබීම සහ දේශපාලන සමාජයක බෙදීම් පිළිබඳවත් සිය කතාවේ දී අදහස් දක්වා ඇත.

බරක් ඔබාමා ඉහත සඳහන් කළ විග්‍රහයන් ඉදිරිපත් කරන ලද්දේ ඔහු පෞද්ගලික මට්ටමින් සහභාගි වූ හමුවකදීය.

එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක්වූ බරක් ඔබාමා, කාන්තාවන් විසින් ලෝකය පාලනය කරනු ලැබුණොත් කවර තත්වයක් උද්ගත වනු ඇද්දැයි තමා ධවල මන්දිරයේ සිටියදී කල්පනා කළ බවත් කියා සිටියේය.

"කාන්තාවෙනි! ඔබ ඉදිරියේ සඳහන් කරන්න මම කැමතියි - ඔබ සර්වතෝභද්‍ර නැහැ. නමුත් කිසිම වාදයක් නැහැ, ඔබ ලෝකය පාලනය කිරීම සඳහා පුරුෂයන්ට වඩා සුදුසුයි."

තවදුරටත් අදහස් දැක්වූ බරක් ඔබාමා මෙසේ සඳහන් කළේය.

"අප ජීවත්වෙන මෙම පෘථිවියේ හැම රටක්ම කාන්තාවන් විසින් අවුරුදු දෙකක කාලයක් පාලනය කළොත්, ලෝකයේ හැම අංශයකින්ම විශාල වර්ධනයක් සිදු වෙන බවට මට නිසැක විශ්වාසයක් පවතිනවා. ජීවන තත්වය සහ වෙනත් අංශයන්හි ලබන ප්‍රතිඵල අතින්."

දේශපාලන නායකත්වය සඳහා යළි අවතීර්ණ වීමට ඔබ අදහස් කරන්නේදැයි හිටපු ඇමෙරිකානු නායකයා වෙත ප්‍රශ්නයක් යොමු වූ විට, ඊට පිළිතුරු දුන් බරක් ඔබාමා සඳහන් කළේ "කාලය පැමිණි විට නායකයන් බල තනතුරුවලින් ඉවත් විය යුතුය," යන්න තම විශ්වාසය වන බවය.

"ලෝකය සහ මහලු මිනිසුන් නිරන්තරයෙන් මුහුණ දෙන ප්‍රශ්න දෙස අවධානය යොමු කළොත්, සාමාන්‍යයෙන් මහලු පුරුෂයන් තනතුරුවලින් ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ" ඔබාමා පවසයි.

"තමන්ට පැවරී ඇත්තේ යම්කිසි කාර්යභාරයක් ඉටු කරනු ලැබීම සහ එම කාර්යභාරය පැවරුණේ යාවජීව මට්ටමින් නොවන බව දේශපාලන නායකයන් විසින් තේරුම් ගැනීම වැදගත්. දේශපාලන තනතුරු තම බලය හෝ ස්වීය වූ පෞද්ගලික අභිප්‍රායයන් ඉටු කර ගැනීමට ආධාර කර ගත යුතු නොවන බව ඔවුන් වටහා ගත යුතුයි."

බරක් ඔබාමා වසර 2009 පටන් 2017 තෙක් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය හෙබවීය.

ඇමරිකාවේ 'වඩාත් ගෞරවයට පත්' කාන්තාව මිෂෙල් ඔබාමා

ධවල මන්දිරයෙන් සමු ගැනීමෙන් පසු බරක් ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමා ලොවපුරා තරුණ නායකයන් දැනුවත් කිරීමේ පදනමක් ආරම්භ කොට ඇත.

එම යුවළ පසුගිය සතියේ මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර පැවති 'ඔබාමා පදනමේ' හමුවක් සඳහාත් සහභාගි වූහ.
 
(බීබීසී සංදේශය)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top