Jan 06, 2020

ගිනිගත් ඕස්ට්‍රේලියාව වැස්සෙන් සිසිල් වෙයි

ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකටම ඇදහැලුනු වර්ෂා හේතුවෙන් පසුගිය කාලය පුරාවට ඇතිවූ ලැව්ගිනි තරමක් දුරට මැඩපැවැත්වී ඇතැයි වාර්තා වේ.

සිඩ්නි සිට මෙල්බර්න් අතර, ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරය දිගට වර්ෂාව ඇදහැලී අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ද ධාරානිපාත වැසි වාර්තා වී තිබේ.

අළු මිශ්‍රිත වර්ෂාව ඇදහැලෙත්ම එම ප්‍රදේශ වල උෂ්ණත්වය පහත වැටී ඇති නමුත්, එම ප්‍රදේශ වල සේවයේ නිරත නිලධාරීන් අනතුරු අඟවා ඇත්තේ ලැව්ගිනි යළි පැතිරීමේ අවදානමක් ඇති බවයි.

ඉරිදා රාත්‍රිය වන විට නිලධාරීන් අනතුරු අඟවා තිබුණේ බ්‍රහස්පතින්දා වන විට උෂ්ණත්වය ඉහළ යනු ඇති බවයි.

තවද, වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස්හි විශාල ලැව්ගිනි එක්ව දැවැන්ත ගින්නක් ඇති විය හැකි බව ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

මෙම තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගමැති - ග්ලැඩිස් බෙරෙජික්ලියන් අනතුරු අඟවා තිබුණේ උදාසීනත්වයට කිසිඳු ඉඩක් නොමැති බවයි.

මේ අතර, ඕස්ට්‍රේලියාව පුරා පැතිර ඇති ලැව්ගිනි හේතුවෙන් එරට වායු දූෂණ මට්ටමද ඉතා භයානක ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top