The outbreak occurred in the city of Wuhan, south of Beijing The outbreak occurred in the city of Wuhan, south of Beijing
Jan 10, 2020

සාර්ස් වගේ නව වෛරසයක් චීනයෙන් මතුවෙයි!

දරුණු පෙනහළු රෝගී තත්ත්වයක් ඇතිකරන, මීට පෙර හමුනොවූ වෛරසයක් චීනයේ වූහාන් නගරයෙන් වාර්තා වෙයි.

මේ වන විට පුද්ගලයන් 50 දෙනෙකුට මෙම වෛරසය ශරීරගතවී ඇති අතර, සත්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බීබීසී පුවත් සේවයේ දැක්වේ.

කොරොනා වෛරසයක්

මෙම වෛරසය කොරොනා වෛරසයක් (coronavirus) බවට චීනයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් නිගමයනයකට එළැඹ ඇත.

කොරොනා වෛරස යනු පුළුල් වෛරස් ඛාණ්ඩයක් වන නමුත්, ඉහත වෛරසය ඇතුළුව මේ දක්වා මිනිසුන් හට ආසාදනය වන කොරොනා වෛරස ඇත්තේ 7ක් පමණි. වසර 2002 දී චීනයෙන් ඇරඹුනු සාර්ස් හා 2012දී මැද පෙරදිග කලාපයෙන් පැතිර ගිය මර්ස් වෛරස මෙම කොරොනා වෛරස ඛාණ්ඩයට අයත් වේ.

කෙසේවෙතත්, එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාක් වූල්හවුස් මහතා පවසන්නේ වූහාන් වලින් හමුවූ කොරොනා වෛරසය, සාර්ස් තරමටම දරුණු නොවනු ඇති බවයි. මෙම වෛරසය හේතුවෙන් ඇති වන රෝග ලක්ෂණ හෙම්බිරිස්සාවකට සමාන බව ඔහු සඳහන් කරයි.

වෛරසය මතුවුනේ මුහුදු ආහාර වෙළඳපොලෙන්

ලෝකයේ නව වෛරස් වර්ග නිතරම සොයාගනු ලබනු අතර, එම වෛරස සතුන්ගෙන් මිනිසුන්ට ශරීරගත වේ. 

වූහාන් වල වෛරසය එහි මුහුදු ආහාර තොග වෙළඳපොලට සම්බන්ධ වී ඇතැයි හෙළිදරව් වී තිබේ. බෙලූගා තල්මසුන් වැනි ඇතැම් මුහුදු ක්ෂීරපායි සතුන් තුළ කොරොනාවෛරස ශරීරගතවී පවතින නමුත්, ඉහත වෙළඳපොලේ ඇති කුකුළන්, වවුලන්, හාවන් හා සර්පයන් ඇතුළු සතුන් මෙම වෛරසයේ ප්‍රභවය වීමේ ප්‍රවණතාවය ඉහළ බවද පැවසේ.

මේ වන විට මෙම වෙළඳපොල පිරිසිදු කිරීමට හා විෂබීජ නැසීමට වසා දමා ඇත.

බෝවෙන්නෑ?

සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම නව වෛරසය පුද්ගලයන් අතර බෝවන බවට ලක්ෂණ මේ දක්වා පෙන්වා නැති බවයි. කෙසේවෙතත්, මේ පිළිබඳව නිශ්චිත වශයෙන් තවම පැවසිය නොහැකි බව බලධාරීන් සඳහන් කරයි.

මේ දක්වා මෙම වෛරසයට ගොදුරු වූ බවට වාර්තා වූ රෝගීන් 59 දෙනාටම 2019 දෙසැම්බර් 12 සිට දෙසැම්බර් 29 දක්වා කාලය තුළ වාර්තා වූ අතර, රෝගීන් සංඛ්‍යාව ඉන් පසුව ඉහළ ගොස් නොමැත.

වෛරසය පැතිර යාම වැළැක්වීමට රෝගයට ගොදුරු වූවන් හුදකලා කර ප්‍රතිකාර සිදුකර ඇති අතර, ඔවුන් හා සම්බන්ධතා පැවති පුද්ගලයන් 150ක් තවදුරටත් නිරීක්ෂණයට ලක්වෙමින් පවතියි. තවද, සංචාරකයන් පරීක්ෂා කිරීමට උෂ්ණත්ව ස්කෑන් යන්ත්‍ර යොදාගැනීම වැනි පියවර රැසක් ගෙන ඇත.

කෙසේවෙතත්, ජනවාරි මාසය අග එළැඹෙන චීන නව වසර වෙනුවෙන් මිලියන ගණනක් සංචාරයේ නියැදීමත් සමග මෙම වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.

(බීබීසී ලෝක සේවය ඇසුරෙනි)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top