Feb 11, 2020

ඉන්දුනීසියාව, ළමා අපයෝජකයන්ට දඬුවම් දැඩි කරයි

ළමා අපයෝජකයන් ලෙස වරදකරුවන් බවට පත්වූ අපරාධකරුවන් හට රසායනික වන්ද්‍යාකරණය (chemical castration) ලබා දීමට ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ පසුගියදා නියෝගයකට අත්සන් තබා ඇත.

මේ අතර, යහපත් කල්ක්‍රියාව මත නිදහස් වන ළමා අපයෝජකයන් ද විද්‍යුත් අධීක්ෂණ උපකරණ පැළඳිය යුතු වේ.

පසුගිය අප්‍රේල් මාසයේදී සුමාත්‍රා දූපතේ ජීවත් වූ 14 හැවිරිදි දැරියක් සමූල දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගෙන තිබේ. මෙම සිද්ධියට වරදකරුවන් වූ නව යොවුන් වියේ පසුවන තරුණයන් සත් දෙනෙකු දස වසරකට සිරදඬුවම් නියම කෙරුණි. රට පුරා මෙය දැඩි විවේචනයට මෙන්ම ළමා අපයෝජකයන් ලෙස වරදකරුවන් බවට පත්වූවන්ට රසායනික වන්ද්‍යාකරණය ලබාදීම සඳහා මීට පෙරද සිදුකෙරුණු ඉල්ලීම් වලට නැවත පණ ගැන්විණි.

ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා හි ජනාධිපති මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජෝකෝ මහතා කියා සිටියේ, ළමා ආරක්ෂාව පිළිබඳ එරට පැවති 2002 නීතිය සංශෝධනය කිරීමේ නියෝගයකට තමන් අත්සන් කර ඇති බවයි.

ඉන්දුනීසියාවේ ළමා ලිංගික හිංසනය සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව පැවසූ එරට ජනපතිවරයා ළමා ලිංගික අපරාධකරුවන්ට පමුණුවන සිරදඬුවම ද වසර 10 සිට උපරිම වසර 20ක් දක්වා දීර්ඝ කළේය.

දිනකට ඉන්දුනීසියානු කාන්තාවන් 35 ක් පමණ ලිංගික හිංසනයන්ට ගොදුරු වන බව එරට කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ ජාතික කොමිසම උපුටා දක්වමින් දේශීය මාධ්‍ය වාර්තා කර තිබුණි.

රටවල් කිහිපයක් විසින් මේ වන විටත් ස්ත්‍රී දූෂකයන් සහ ළමා අපයෝජකයන් ලෙස ඔප්පු වූ වරදකරුවන් හට දඬුවම් ලෙස රසායනික වන්ද්‍යාකරණය යොදාගනී. එම රටවල් වලට ඕස්ට්‍රේලියාව, රුසියාව, දකුණු කොරියාව සහ ඇමෙරිකාව ද ඇතුළත් වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top